Gossips

ඇමරිකානු ආරක්ෂක අයවැයෙන් ශ්‍රී ලංකාව ගැනත් අවධානය

ඇමරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් විසින් හෙට අත්සන් කිරීමට නියමිත ඇමරිකානු ආරක්ෂක අයවැයෙන් ශ්‍රී ලංකාව පිළිබඳවද අවධානය යොමුවී ඇති බව වාර්තාවනවා.
ඇමරිකානු ඩොලර් බිලියන 700 ක මෙම දැවැන්ත ආරක්ෂක අයවැය මගින් ප්‍රධාන වශයෙන් අවධානය යොමුවන්නේ චීනය සහ රුසියාවට එරෙහිව ඇමරිකානු යුද බලය ගොඩනැගීමටයි.
ට්‍රම්ප් පරිපාලනයේ ආරක්ෂක අයවැයට ඇමරිකානු මහජන නියෝජිත සභාවේ සහ සෙනෙට් සභාවේ අනුමැතියද හිමිවුණා.
පැසිෆික් කලාපීය නාවික මෙහෙයුම්වලදී චීනය හුදකලා කිරීමට ඇමරිකාව අදහස් කරන අතර, ඇමරිකානු විශ්වවිද්‍යාල විද්‍යායතනවල චීන භාෂා වැඩසටහන්වලට පවා අරමුදල් කපා හැරෙනවා.
ඇමරිකාවේ ආරක්ෂක අයවැයේ මීට පෙර තේමාව වූයේ ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය වුවත් මෙවර එය ක්‍රමෝපාය තරඟකාරීත්වය මත පදනම්වීම විශේෂත්වයක්.
ඒ අනුව ආසියා – පැසිෆික් කලාපය කෙරෙහි ඇමරිකාවේ විශේෂ අවධානය යොමුවනවා.
මෙම ආරක්ෂක අයවැයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව වැනි රටවල් සමඟ සමීප ආරක්ෂක සහයෝගිතාවක් ගොඩනැගීම සඳහාද මුදල් සැපයීමට කටයුතු කර ඇති බව මේ පිළිබඳ වාර්තාවක් ගෙන එන චීන සී ජී ටී එන් ප්‍රවෘත්ති සේවය සඳහන් කළා.