Gossips

ඇමති සුජීවට එරෙහිව තවත් සාක්ෂියක් සී.අයි.ඩී.යට

අර්ජුන් ඇලෝසියස්ට අයත් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමෙන් රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ රුපියල් මිලියන 3 ක මුදලක් ලබාගෙන ඇති බවට සනාථ කෙරෙන තවත් සාක්ෂියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නා.
එම සාක්ෂිකරුවන්ගේ සාක්ෂි සම්පිණ්ඩනය අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව මගින් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට ඉදිරිපත් කිරීමටයි කටයුතු කෙරුණේ.
මෙලෙස සාක්ෂි ලබාදී ඇත්තේ අමල් රවීන්ද්‍රනාත් ඩයස් නැමති හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහගේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවූ පුද්ගලයෙක්.
ඔහු පිළිබඳ තොරතුරු ලබාදී ඇත්තේ මීට පෙර සාක්ෂි ලබාදුන් රාජ්‍ය අමාත්‍යවරයාගේ ආරක්ෂකයින් දෙදෙනෙකු විසින්.
එමෙන්ම ප්‍රශ්නගත බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන ලබන මස 5 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
අර්ජුන් ඇලෝසියස්ගේ පියා වන පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ සභාපති, ජෙෆ්රි ඇලෝසියස්ටද එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ.
පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ දත්ත ගබඩාවට පිවිසීමට අවශ්‍ය රහස් අංකය ලබාදෙන ලෙස මීට පෙර අධිකරණය ජෙෆ්රි ඇලෝසියස්ට නියෝග කර තිබුණා.
කෙසේ වෙතත් එය ලබාදීමට ඔහු මෙතෙක් කටයුතු කර නැහැ.
දත්ත ගබඩාවට පිවිසීමේ රහස් අංකය පිළිබඳ එම සමාගමේ හිටපු ප්‍රධාන තොරතුරු තාක්ෂණ විධායක නිලධාරීයෙකු වන සචිත්‍ර මධුශංක දේවතන්ත්‍රි දැනුම්වත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.
ඒ අනුව ඔහු මාර්ගයෙන් මේ මස 25 වනදා සිට ලබන මස හයවනදා දක්වා එම දත්ත ගබඩාව විවෘත කර අවශ්‍ය දත්ත ලබාගැනීමට අධිකරණය නියෝගයක් නිකුත් කළා.
ඒ සඳහා සමාගමේ දත්ත ගබඩා භාරකාර නිලධාරියෙකු වන උපේක මධුශංකගේ සහය ලබාගැනීමටද අධිකරණය අවසර ලබාදී තිබෙනවා.
එම දත්ත ගබඩාව විවෘත කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය දත්ත ලබාගැනීමට අවසර ලබාදෙන ලෙසද ජෙෆ්රි ඇලෝසියස්ට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කළා.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර සිද්ධිය සම්බන්ධයෙන් පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගම අයථා ලෙස උපයාගත් මුදල් බෙදීගිය ආකාරය සම්බන්ධයෙන් පුළුල් පරික්ෂණ සිදුකරන බව අධිකරණයට දැනුම් දුන්නා.
එමෙන්ම මේ වනවිට බැංකු 31 කින් අවශ්‍ය තොරතුරු ලබාගෙන ඇති අතර, පරීක්ෂණවල ප්‍රගතිය ඉදිරි දිනකදී අධිකරණයට වාර්තා කරන බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර සඳහන් කළා.