Gossips

ඇමති රාජිතගේ ප්‍රකාශයට අදත් විරෝධතා

එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් මියගිය දා, උතුර පළාතේ ශෝක දිනයක් ලෙස නම් කිරීම රජයට ගැටළුවක් නොවන බවට සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න සිදුකළ ප්‍රකාශයට විරෝධය පළ කරමින් අදත්, ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වුණා.
හිඟුරක්ගොඩ සහ ඇලහැර ප්‍රාදේශීය සභාවල පොදුජන පෙරමුණේ නියෝජිතයින් අද (20) හිඟුරක්ගොඩ නගරයේදී අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහිව විරෝධතාවල නිරත වුණේ දේව කන්නලව්වක් ද සිදු කරමින්.
විරෝධතාවයේ නිරත පිරිස හිඟුරක්ගොඩ – සේනානායකාරාමයේදී ආගමික වතාවත්වල නිරත වී රණවිරුවන් සිහි කළ පසුව එහි දේවාලයකට ගොස් දේව කන්නලව්වේ නිරත වුණා.
අනතුරුව ඔවුන් හිඟුරක්ගොඩ නගරයේ ඔරලෝසු කණුව අසළට පා ගමනින් පැමිණ අමාත්‍ය රාජිත සේනාරත්නට පොල් ගසා විරෝධතා දැක්වූ අතර, ඔහුගේ අනුරුවක් ද පුළුස්සා දමනු ලැබුවා.
මේ අතර, අමාත්‍ය රාජිත සේනාරත්න සිදුකළ ප්‍රකාශයට විරෝධය පළ කරමින් හලාවත නගරයේදී ද විරෝධතාවක් සංවිධාන කර තිබුණේ ප්‍රදේශයේ විදේශගත විශ්‍රාමිකයන් හා තරුණ එකමුතුව විසින්.
එමෙන්ම, බේරුවල හෙට්ටිමුල්ල නගරයේදී ද රාජිත සේනාරත්න අමාත්‍යවරයාට විරෝධය පල කරමින් උද්ඝෝෂණයක් පැවැත්වුණා.
කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න පසුගිය දා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදත් දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පළ වුණා.