Gossips

ඇමති රංගේගේ පුත්‍රයා අත්අඩංගුවට ගැනීමට විමර්ශනයක්

රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර අත්අඩංගුවට ගැනීම සඳහා ආරච්චිකට්ටුව පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
සිද්ධියෙන් තුවාල ලැබූ ඔහු පරීක්ෂණයක් සඳහා හලාවත රෝහලේ සිට කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ඒමට කටයුතු කරන බවයි පොලීසිය සඳහන් කළේ.
රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාරගේ පුත්‍රයා පැදවූ රජයේ අමාත්‍යාංශයකට අයත් කැබ් රථයක් අද අලුයම අනතුරට ලක්වුණේ හලාවත – පුත්තලම ප්‍රධාන මාර්ගයේ බංගදෙනිය – කෝට්ටපිටිය මංසන්ධියේදීයි.
එහිදී තුවාල ලැබූ රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර සහ කැබ් රථයේ ගමන් ගත් තවත් පුද්ගලයෙකු හලාවත මහරෝහලට ඇතුළත් කෙරුණා.
අනෙක් පුද්ගලයා ප්‍රතිකාර ලබා මේ වනවිට රෝහලෙන් පිටව ගොස් ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේ යශෝධ රංගේ බණ්ඩාර බීමතින් සිටි බවට මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වුණා.
වේගය පාලනය කර ගත නොහැකිවීමෙන් කැබ් රථය පාරෙන් ඉවතට පැන යාබද නිවසක් තුළට කඩාවැද තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේදී නිවසෙහි කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුලුව 4 දෙනෙකු සිටි නමුත්, කිසිවෙකුටත් හානියක් සිදුව නැහැ.
අදාළ කැබ් රථය රාජ්‍ය අමාත්‍ය රංගේ බණ්ඩාර මීට පෙර කටයුතු කළ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයට අයත් රථයක් බවටයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.
මීට පෙර ද රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රයා ගමන් ගත් මෝටර් රථයක් ආනමඩුව – මහඋස්වැව ප්‍රදේශයේදී රිය අනතුරක් ලක්වූ අතර එහිදී එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.