Gossips

ඇමති මණ්ඩලය සම්පූර්ණයෙන් වෙනස් වෙයි

ඉදිරියේදී විෂය පථ වෙනස්කම් ද සහිත පූර්ණ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
ඒ ජනාධිපති මන්දිරයේ අද (06) පැවති මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ හමුවකට එක්වෙමින්.
ඊට අදාළ කටයුතු සිදුකිරීමට දෙපාර්ශවයම ඇතුළත් කමිටුවක් ද පත් කළ බවයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ.
ඊයේ (05) රාත්‍රියේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ජනාධිපතිවරයා හමුවූ අතර එම සාකච්ඡාවෙන් අනතුරුව ගත් තීරණයකට අනුව පූර්ණ අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදුකෙරෙන බව සඳහන්.
අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගයේදී ඊට පක්ෂව ඡන්දය ලබාදුන් සහ නොදුන් නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් පක්ෂ විධායක කමිටුවේදී සාකච්ඡා කරන බව ද ජනාධිපතිවරයා අද (06) ප්‍රකාශ කළා.
පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් ඕනෑම අයෙකුට රජය ශක්තිමත් කිරීම සඳහා තමන් ආරාධනා කරන බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එහිදී වැඩිදුරටත් කියා සිටියේ.
මැතිවරණ ක්‍රමයේ පවතින විකෘති තත්ත්වයන් නිසා පළාත් පාලන මැතිවරණ පනත වහාම සංශෝධනය කළ යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.
එසේම, ලෝක කම්කරු දිනය සැමරෙන මැයි 7 වැනිදා රජයේ නිවාඩු දිනයක් වන බව ද මෙහිදී ප්‍රකාශ වුණා.