Gossips

ඇමති මණ්ඩලය දිවුරුම් දීම තවත් කල් යයි – තොන්ඩමන්ට සහ ඩග්ලස්ටත් ආරාධනා

නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම හෙට දිනය දක්වා තවදුරටත් කල් දමා තිබෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක් වූ පිරිසට අමාත්‍ය ධුර ලබාදීම සම්බන්ධයෙන් තවදුරටත් ජනාධිපතිවරයාගේ පාර්ශවය සමඟ සාකච්ඡා කරමින් පැවතීම ඊට හේතුව බවයි එක්සත් ජාතික පෙරමුණේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ.
ඊයේ පැවති නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී හිටපු අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාට අමාත්‍ය ධුරයක් ලබා නොදෙන බවට ද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.
මේ අතර, ලංකා කම්කරු කොංග්‍රසය සහ ඊ.පී.ඩී.පී සංවිධානයට ද රජයට එක්වන ලෙස ආරාධනා කර තිබෙනවා.
එම පක්ෂ වල ජ්‍යෙෂ්ඨයන් සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවයි.
19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව, ජාතික ආණ්ඩුවක් නොවන අවස්ථාවක, අමාත්‍ය මණ්ඩලයේ කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව 30 කට සීමා වන අතර, ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍ය එක් අමාත්‍ය ධුරය බැගින් දරන්නේ නම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදිය හැකි කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව 28 කට සීමා වනු ඇති.
රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාව 40 ක් වනවා.
කෙසේ වෙතත් රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර සංඛ්‍යාව සීමා කර කැබිනට් නොවන අමාත්‍ය ධුර 10 ක් ලබාදීමට ආණ්ඩුව තීරණය කර ඇති බවද වාර්තා වනවා.
මේ අතර, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අත්හිටුවීම හේතුවෙන් වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් ගැටලුවක් උද්ගත නොවන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල අප කළ විමසීමකදී සඳහන් කළා.