තම කීර්ති නාමයට හානිකළ බව පවසමින් මව්බිම පුවත්පතෙන් රුපියල් බිලියන 1.5 ක වන්දියක් ඉල්ලා, අමාත්‍ය පාඨලී චම්පික රණවක කොළඹ දිසා අධිකරණයේ ගොනුකර තිබූ අපහාස නඩු දෙකක් අද ඉල්ලා අස්කර ගත්තා.
2014 වසරේ දෙසැම්බර් 30 වනදා එම පුවත්පතේ පළ වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම සම්බන්ධ වන ලිපියක් මගින් තම කීර්ති නාමයට කැළලක් වී ඇති බවට පවසමින් එක් නඩුවක් පවරා තිබුණා.
ඔහු අනෙක් නඩුවෙන් පවසා තිබුණේ ගල් අගුරු ආනයනය කිරීම සම්බන්ධයෙන් පළ වූ ලිපියකදී ද තමන්ට අපහාසයක් සිදුවූ බවයි.
ඒ අනුව, රුපියල් මිලියන දහසක් සහ රුපියල් මිලියන 500 ක් වශයෙන් වෙන් වෙන්ව වන්දි ඉල්ලා මෙම නඩු පවරා තිබූ අතර, ඒවා ඉල්ලා අස්කර ගැනීමට සූදානම් බව අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ නීතිඥයා අධිකරණයට දැනුම් දුන්නා.
කරුණු සලකා බැලූ දිසා විනිසුරුවරයා නඩු ගාස්තු රහිතව එම නඩු නිෂ්ප්‍රභ කිරීමට නියම කළා.