Gossips

ඇමති කබීර්ගේ දොරට පයින් ගැසුවේ නැහැ – මන්ත්‍රී විජේමාන්න කියයි

මහාමාර්ග අමාත්‍ය කබීර් හෂිම් හමුවීමට බත්තරමුල්ලේ පිහිටි එම අමාත්‍යංශයට ගිය අවස්ථාවේදී තමන් එහි දොරකට පයින් ගැසු බවට පළ වන මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බව කළුතර දිස්ත්‍රීක් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න පවසනවා.
කළුතර දිස්ත්‍රික්කයේ මහාමාර්ග ව්‍යපෘතිවල පවතින ප්‍රමාදය වළක්වා ගැනීම සඳහා සහයෝගය ලබා ගැනීමට මන්ත්‍රීවරයා පළාත් සභා සහ පළාත් පාලන මන්ත්‍රීවරුන් පිරිසක් සමග මෙලෙස මහාමාර්ග අමාත්‍යංශයට ගොස් ඇත්තේ පෙරේදා දිනට යෙදුණු මහජන දිනයේදීයි.
කෙසේ වෙතත්, ඔහුට අමාත්‍යවරයා හමුවීමට පැමිණ සිටි ජනතාව අතරම පැයකට ආසන්න කාලයක් රැදිසිටීමට සිදුව තිබුණේ අමාත්‍යවරයාගේ ආරක්ෂකයින් සහ සේවකයින් අවස්ථාව සලසා නොදිම හේතුවෙන්.
පසුව ලක්ෂ්මන් විජේමාන්න මන්ත්‍රීවරයා, තමා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බව ප්‍රකාශ කර ඇති නමුත්, පිළිගැනීමේ නිළධාරින් අමාත්‍යවරයා හමුවීමට ඔහුට ඉඩ ලබා නොදුන් බවයි මාධ්‍ය වාර්තා වල දක්නට තිබුණේ.
ඉවසිමේ සීමාව ඉක්මවා යාම නිසා පසුව මන්ත්‍රීවරයා සිය දකුණු පාදයෙන් ප්‍රධාන දොරටුවට පහරදී දොර කඩාගෙන අමාත්‍යවරයාගේ කාර්යාලයට කඩා වැදී ඇති බව අදාළ වාර්තා වල දැක්වුණා.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්නගෙන් විමසා සිටියා.
එහිදී ප්‍රකාශ වන අන්දමේ සිද්ධියක් සිදු නොවූ බව සදහන් කළ මන්ත්‍රීවරයා කියා සිටියේ තමා දොර තල්ලූ කළ බවයි. දොර එම අවස්ථාවේදී අගුලූ දමා නොතිබූ බවත්, අනතුරුව අමාත්‍යවරයා හමුවී සාකච්ඡා කර පිටව ආ බවත් ඔහු කියා සිටියා.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් විමසීමට අමාත්‍ය කබීර් හෂීම් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් අමාත්‍යවරයා උත්සවයකට එක්ව සිටීම හේතුවෙන් එය ව්‍යර්ථ වුණා.