Gossips

ඇමතිවරු 18 ක් දිවුරුම් දෙයි – රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරු හෙට

ජාතික ආණ්ඩුවේ තුන්වන අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදුකරමින් නව අමාත්‍යවරුන් 18 දෙනෙකු අද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.
මෙම කැබිනට් සංශෝධනයට ප්‍රමුඛතම හේතුව වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ අමාත්‍යවරුන් හයදෙනෙකු අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයට සහය පළ කර ආණ්ඩුවෙන් ඉවත්ව යාමයි.
ඒ අනුව ලක්ෂ්මන් කිරිඇල්ල, රංජිත් මද්දුමබණ්ඩාර සහ මනෝ ගනේෂන් යන අමාත්‍යවරුන් ඔවුන් මෙතෙක් දැරූ අමාත්‍ය ධුරවලම දිවුරුම් දීම විශේෂත්වයක්.
ඒ අනුව ලක්ෂ්මන් කිරිඇල්ල, රාජ්‍ය ව්‍යවසාය සහ මහනුවර නගර සංවර්ධන අමාත්‍යවරයා ලෙස අද දිවුරුම් දුන් අතර රංජිත් මද්දුමබණ්ඩාර නීතිය, සාමය, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය ධුරයේම අද දිවුරුම් දුන්නා.
මනෝ ගනේෂන් ජාතික ඒකාබද්ධතා, සංහිඳියා සහ රාජ්‍ය භාෂා අමාත්‍යවරයා ලෙස යළි දිවුරුම් දුන් අතර ඔහුගේ අමත්‍යාංශයට අයත් විෂය පථයන්හි යම් වෙනසක් සිදුව තිබෙනවා.
ඒ අනුව ජනාධිපතිවරයා යටතේ තිබූ ජාතික ප්‍රතිසන්ධාන අමාත්‍යාංශයේ වගකීම් ඔහුට පවරා තිබීම විශේෂත්වයක්.
මීට පෙර විශේෂ කාර්ය භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ආචාර්ය සරත් අමුණුගමට මෙවර අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී වැඩි වගකීම් ලබාදෙමින් ආණ්ඩුව හැරගිය නිදහස් පක්ෂ අමාත්‍යවරුන් තුන්දෙනෙකුට හිමිව තිබූ අමාත්‍යාංශ විෂය පථ ඇතුළත් කර තිබෙනවා.
ඒ, සුසිල් ප්‍රේමජයන්ත දැරූ විද්‍යා තාක්ෂණ පර්යේෂණ අමාත්‍ය ධුරයත්, චන්දිම වීරක්කොඩිගේ නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු අමාත්‍ය ධුරය සහ එස්.බී. දිසානායකට අයත්ව තිබූ කන්ද උඩරට උරුමය අමාත්‍ය ධුරය එක් කරමින්.
එස්.බී. නාවින්න අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර, මීට පෙර දරනු ලැබූ සංස්කෘතික අමාත්‍යාංශය ඔහුගෙන් ඉවත් කරනු ලැබුවා.
ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මහින්ද අමරවීර අද දිවුරුම් දෙනු ලැබුවේ කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙසයි.
එමෙන්ම කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස කටයුතු කළ දුමින්ද දිසානායක වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.
වාරිමාර්ග හා ජල කළමණාකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ විජිත් විජයමුණි සොයිසා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන, ග්‍රාමීය ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙසයි අද දිවුරුම් දුන්නේ.
මීට පෙර ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ පී. හැරිසන් අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යවරයා ලෙස පත් කෙරුණා.
මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යවරයා ලෙස අද දිවුරුම් දුන්නේ කබීර් හෂීම්.
මීට පෙර ඔහු යටතේ පැවති උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මෙවර සංශෝධනයේදී ඉවත් කර තිබෙනවා.
අධිකරණ ඇමතිණිය ලෙස කටයුතු කළ තලතා අතුකෝරලට එම ධූරයට අමතරව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය ද අද හිමිවුණා.
ක්‍රීඩා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ ෆයිසර් මුස්තාෆායි.
මීට අමතරව නැවත පදිංචිකිරීම්, පුනරුත්ථාපන, හින්දු ආගමික හා උතුර සංවර්ධන අමාත්‍යවරයා ලෙස ඩී.එම්. ස්වාමිනාදන් අද දිවුරුම් දුන්නා.
ඔහු මීට පෙර දැරූ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය ඉවත් කර ඇති අතර ඒ වෙනුවට උතුර සංවර්ධන නමින් නව විෂය පථයක් එක් කර තිබීමද විශේෂත්වයක්.
තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සාගල රත්නායකට මෙවර සංශෝධනයේදී ව්‍යාපෘති කළමනාකරණ විෂය එක්කර තිබෙනවා.
එමෙන්ම ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යවරයා ලෙස කටයුතු කළ දයා ගමගේට මෙවර සමාජ සුබසාධන අමාත්‍යාංශය ද හිමිව තිබෙනවා.
මීට පෙර ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ධූරය දැරූ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට එම අමාත්‍ය ධූරයට අමතරව තිරසර සංවර්ධන, වනජීවි අමාත්‍යාංශය හිමිවුණා.
එම අමාත්‍යාංශයේ මීට පෙර කටයුතු කළ රවීන්ද්‍ර සමරවීරට මෙවර සංශෝධනයේදී හිමි වුණේ කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යාංශයයි.
එමෙන්ම පසුගිය දා අමාත්‍ය ධුරයෙන් ඉවත් කෙරුණු විජේදාස රාජපක්ෂට මෙවර කැබිනට් සංශෝධනයේදී යළි අමාත්‍යාංශයක් හිමිවීමද විශේෂත්වයක්.
ඒ අනුව කබීර් හෂීම් දැරූ උසස් අධ්‍යාපන අමාත්‍ය ධුරයේ සහ එස්.බී. නාවින්න දැරූ සංස්කෘතික කටයුතු අමාත්‍ය ධුරයේ ඔහු දිවුරුම් දුන්නා.
ඒ අනුව ජාතික ආණ්ඩුවෙන් පසුගියදා ඉවත්වු නිදහස් පක්ෂ අමාත්‍යවරුන් හයදෙනාට හිමිව තිබූ කම්කරු සහ සමෘද්ධි විෂයද ඇතුළත් සමාජ සුභසාධන අමාත්‍ය ධුර එක්සත් ජාතික පක්ෂයටද, එම පක්ෂයට හිමිව තිබූ ග්‍රාමීය කටයුතු අමාත්‍ය ධුරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටද අද සිදුවූ කැබිනට් සංශෝධනයේදී හිමිව තිබෙනවා.
කෙසේ වෙතත් කැබිනට් අමාත්‍ය ධුර 19 ක කිසිදු වෙනසක් සිදු වී නොමැති අතර, නව පත්කිරීම්ද සමඟ දැනට ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව 42 ක්.
මේ අතර, රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීමද හෙට සිදුවීමට නියමිතයි.
දැනට ආණ්ඩුවේ සිටින රාජ්‍ය අමාත්‍යවරුන් 24 ක් වන අතර, නියෝජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාව 21 ක්.