Gossips

ඇප ලැබුණු හිමිවරුන්ට, පොලීසියට ප්‍රකාශයක් දෙන්නැයි නියෝග

ඇප මත මුදා හැරුණු පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා සිව් නමට අනවශ්‍ය ප්‍රමාදයකින් තොරව කොටුව පොලීසියට ප්‍රකාශයක් ලබාදෙන ලෙසට අධිකරණය නියෝග කර තිබෙනවා.
වරෙන්තුවක් මත අධිකරණයේ පෙනී සිටි භික්ෂූන් වහන්සේලා සිව්නම ඇප මත මුදාහරින ලෙසටයි කොළඹ – කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද නියෝග කළේ.
එහිදී මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ රුපියල් එක්ලක්ෂ පනස් දහස බැගින් වූ ශරීර ඇප මත උන්වහන්සේලා මුදාහරින ලෙසයි.
2016 වසරේ කොළඹ පැවති ආබාධිත රණවිරුවන්ගේ විරෝධතාවක් අතරතුර රාජ්‍ය දේපලවලට හානි සිදුකිරීමේ සිද්ධියකට වරෙන්තු ලැබ සිටි භික්ෂුන් වහන්සේලා සිව්නම කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද උදෑසන පැමිණියා.
පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක, පූජ්‍ය බෙංගමුවේ නාලක, පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස සහ පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත යන හිමිවරුන් මෙලෙස අද උදෑසන අධිකරණයට පැමිණ සිටි බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.
මෙම හිමිවරුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළේ පසුගිය මස 31 වනදායි.
එහිදී ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් සඳහන් කළේ සිය සේවාදායකයින් අත්අඩංගුවට ගතහොත් වස් චාරිත්‍ර ඉටු කිරීමට බාධා පැමිණෙන බැවින් මෝසමක් ගොනු කර හැකි ඉක්මනින් අධිකරණය හමුවේ පෙනී සිටි බවයි.
කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ උන්වහන්සේට විරුද්ධව පොදු දේපළ පනත යටතේ චෝදනා නගා නොමැති නිසා සහ ඇප ප්‍රතික්ෂේප කිරීමට වෙනත් කරුණු ද නොමැති බැවින් ඇප ලබාදිය හැකි බවයි.
ඒ අනුව උන්වහන්සේලාට ඇප හිමි වූ අතර, නඩු විභාගය ලබන දෙසැම්බර් මස 7 වන දා යළි කැදවීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කළා.
මේ අතර, මාතෘභූමිය සුරක්ෂකයෝ නැමැති සංවිධානය අද උදෑසන කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් විරෝධතා පා ගමනක නිරත වූයේ ආණ්ඩුව භික්ෂූන් වහන්සේලා මර්දනය කරන බවට චෝදනා කරමින්.
ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණීමට උත්සාහ කිරීමත් සමඟ ගාලූ මුවදොරට පිවිසෙන මාර්ගය ලෝටස් වටරවුමෙන් වසා දැමීමට පොලිිසිය පියවර ගනු ලැබුවා.