Gossips

ඇප මත මුදාහැරුණු කෝටි හතරේ, රේගු වංචාවේ සැකකරු රිමාන්ඩ්

ටොන් 12 ක බීඩි කොළ කන්ටේනරයක් නීතිවිරෝධී ලෙස නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන, අධිකරණ ඇප මත මුදා හැර සිටි සැකකරු ලබන 25 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු සැකකරු වියට්නාමයෙන් මෙරටට ගම්මිරිස් ගෙන්වා ඉන්දියාවට ප්‍රතිඅපනයනය කිරීමේ ජාවාරමේද ප්‍රධාන සැකකරුවෙකු වනවා.
අදාළ බීඩි කොළ කන්ටේනරය මෙරටට ආනයනය කර ඇත්තේ පසුගිය වසරේ දෙසැම්බර් 03 වැනිදායි.
ටොන් 12 ක බීඩි කොළ සහිත මෙම කන්ටේනරය බදු වංචා කරමින් රේගුවෙන් නිදහස් කර ගැනීමට අදාළ සැකකරු කටයුතු කර ඇති අතර, ඉන් රටට අහිමිව ගිය බදු ආදායම පමණක් රුපියල් කෝටි 04 ක්.
කෙසේ වෙතත්, සැකකාර නූර්දීන් ෆසාල් අහමඞ් නැමැත්තා පසුගිය දා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරීමටයි කටයුතු කළේ.
නඩුව අද කැදවූ අවස්ථාවේදී අංක 6 අධිකරණයේ මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම ප්‍රකාශ කළේ සැකකරු මීට පෙර ඇප මත මුදා හැරීම ප්‍රමාද දෝෂයක් මත සිදුවූවක් වන අතර, එය අද දිනයේදී තම තීරණය මගින් නිවැරදි කරන බවයි.
රේගු ආඥා පනතට අනුව රුපියල් ලක්ෂ 10 ට වැඩි වටිනාකමින් යුක්ත භාණ්ඩ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට ඇප ලබාදීමේ බලය පැවරෙන්නේ මහාධිකරණයටයි.
මෙම වංචාව සම්බන්ධයෙන් සැකකරුවන් තුන් දෙනෙකු මේ වනවිටත් රක්ෂිත බන්ධනාගාරගතව සිටින පසුබිමක මෙම ප්‍රධාන සැකකරු ඇප මත නිදහස් වීම සිය විමර්ශනවලට බාධාවක් බව ද රේගු නිලධාරීන් මීට පෙර පෙන්වා දුන්නා.