Gossips

ඇපෑලෙන් පසු ඥාණසාර හිමියන් ගැන තීරණයක්

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති පොදු සමාව ලබාදීම පිළිබඳව සැළකිල්ලට ගත හැක්කේ උන්වහන්සේ ඉදිරිපත් කළ අභියාචනය පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා පවසනවා.
හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඥාණසාර හිමියන් පිළිබඳව තමන් පෞද්ගලිකවම ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ බවයි.
මේ අතර බරපතල වැඩසහිත අවුරුදු 06ක සිර දඬුවම් නියමවූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ලබාදුන් තීන්දුවට එරෙහිව ගොනුකළ අභියාචනයේ වාචික කරුණු දැක්වීම අද (29) සිදු කෙරෙනවා.
සිර දඬුවම් නියමවූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ වකුගඩුවේ ගලක් ඉවත් කිරීම සඳහා උන්වහන්සේට පසුගියදා ශල්‍යකර්මයක් සිදු කෙරුණු අතර, උන්වහන්සේ මේ වනවිටත් බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මධ්‍යයේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබනවා.