Gossips

ආහාර වැඩිවී හලාවත වැවිලි සමාගමේ බැටළුවන් 31 ක් මියයයි

හලාවත – වැවිලි සමාගමට අයත් බැටළුවන් 31 දෙනෙකු හදිසියේ මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
පසුගිය දින කිහිපය තුළ එම වැවිලි සමාගමට අයත් කිනියම වත්තේ සිටි බැටළුවන්ගෙන් පිරිසක් මෙලෙස මියගොස් ඇත්තේ සේවකයන් පිරිසක් වර්ජනයක් සිදුකරන අතරතුරදියි.
මේ හේතුවෙන් වැවිලි සමාගමේ පාලන අධිකාරිය වෙනත් සේවකයන් පිරිසක් යොදාගෙන මෙම සතුන්ට ආහාර ලබාදීම සිදු කර ඇති අතර නියමිත මාත්‍රාව ඉක්මවා ආහාර ලබාදීම හේතුවෙන් මෙලෙස බැටළුවන් මියගොස් ඇති බවටයි දැනට අනාවරණය වී ඇත්තේ.
කෙසේ වෙතත් බැටළුවන් මියයාමේ සිද්ධියට වැවිලි සමාගමේ පාලන අධිකාරිය වගකිව යුතු බවටයි වර්ජනයේ නිරත සේවකයන් චෝදනා කළේ.
මොවුන් නගන මෙම චෝදනාව සම්බන්ධයෙන් අප හලාවත වැවිලි සමාගමේ සාමාන්‍යාධිකාරී එම්.එම්. රණවීරගෙන් විමසීමක් කළා.
ඔහු කියා සිටියේ බැටළුවන් මියයාමේ තත්ත්වය මේ වනවිට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් සමාගමේ විගණන නිලධාරීන් විශේෂ පරීක්ෂණයක්ද ආරම්භ කර ඇති බවයි.