Gossips

ආසියානු පදක්කම් සිහිනය ?

18 වන ආසියානු ක්‍රීඩා උළෙල අද ආරම්භ වී සතියක කාලයක් ගත වුවත්, ශ්‍රී ලංකාවට එකදු පදක්කමක් හෝ මෙතෙක් හිමි වී නැහැ.
අද සිට තරඟ බිමට පිවිසෙන මළල ක්‍රීඩා කණ්ඩායමට හෝ ශ්‍රී ලංකාවේ අභිමානය බේරා ගැනීමට හැකිවේද?
පදක්කම් දිනා ගත හැකි මට්ටමේ ක්‍රීඩක, ක්‍රීඩිකාවන් පමණක් ආසියානු ක්‍රීඩා උළෙලට ඉදිරිපත් කරන ලෙස ජාතිික ඔලිම්පික් කමිටුවට මළල ක්‍රීඩා සංගමය කළ දැනුම් දීමක් හේතුවෙන් මෙරට මළල ක්‍රීඩා සහභාගීත්වය 14 දක්වා අඩු වුණා.
බලධාරීන්ගේ නොසැලකිල්ල නිසා උස පැනීමේ ක්‍රීඩක උෂාන් තිවංක සහ මීටර් 400 – 4 මිශ්‍ර සහය කණ්ඩායමේ සිටි උපමාලිකා රත්නකුමාරි හට ද තරගාවලිය අහිමි වූයේ බලධාරීන්ගේ නොසැලකිල්ල හේතුවෙන්.
ඒ අනුව මෙරට ජවන හා පිටිය ක්‍රීඩා ඉතිහාසයේ වැඩිම ජාත්‍යන්තර පදක්කම් සංඛ්‍යාවක් ලබාදී තිබෙන මළල ක්‍රීඩා කණ්ඩායම 12කට සීමා වුණා.
වත්මන් ඔලිම්පික් පරිපාලනයට නිළවරණයේදී මළල ක්‍රීඩා සංගමය විරුද්ධවීමේ ඵල විපාක ක්‍රීඩක, ක්‍රීඩිකාවන් හරහා සපුරා ගන්නට බලධාරීන් කටයුතු කිරීම කණගාටුවට කරුණක්.
ඒ අතරට කාන්තා මීටර් 200 ඉසව්වේ ආසියානු පද්කම් ලාභිනියක වන රුමේෂිකා රත්නායකගේ නම මෙම තරගාවලියේ මීටර් 100යේ ඉසව්වට ඇතුළත් කිරීමට බලධාරීන් කටයුතු කළේ නැහැ.
ඒ හරහා මග හැරී ගියේ මීටර් 100 ඉසව්වේ දක්ෂතා දක්වන රුමේෂිකාට අමතර වියදමකින් තොරව තරඟ අත්දැකීම් ලබා ගැනීමට තිබූ අවස්ථාවයි.
එමෙන්ම, ශ්‍රී ලංකාවේ ප්‍රධානතම පදක්කම් බලාපොරොත්තුවක් වන නිමාලි ලියනආරච්චි හට සිය පුහුණුකරු තරගාවලියට එක් කර ගන්නට අවසර ලබානොදෙන ජාතික ඔලිම්පික් කමිටුව මීටර් 400 යේ සහය කණ්ඩායම පමණක් නියෝජනය කරන ක්‍රීඩකයෙකුගේ පෞද්ගලික පුහුණුකරු කණ්ඩායමට පැමිණියේ කෙසේදැයි සොයා බැලිය යුතු නොවේද ?
දහසක් සීමා මාධ්‍යයේ මලල ක්‍රීඩා කණ්ඩායමට දැලි පිහිය ගත් ඔලිම්පික් බළධාරීන් ප්‍රතිවාදීන්ට ගෝල දුසිම් ගණන් ලබාදෙමින් අවමන්සහගත පරාජයන් ලබන හොකී කණ්ඩායමට යහමින් සහන සලසා තිබෙනවා.
ඒ, ක්‍රීඩකයින් සහ නිලධාරීන් 23 දෙනෙකු එක් කර ගන්නට අනුමැතිය ලබාදෙමින්.