Gossips

ආසියානු කුසලාන තරඟාවලිය අද ඇරඹේ

නිදහස් කුසලාන තරඟාවලියේ දී තියුණු වූ පසමිතුරුකම නව අදියරකට යොමු කරමින් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අද (15) ඩුබායි හිදී ආසියානු කුසලාන තරගාවලිය ආරම්භ කරමින් සටන් වදිනවා.
මේ වසර මුලදී බංග්ලාදේශය ඇතුළත් තුන් කොන් තරඟාවලිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාව, නිදහස් කුසලාන තරඟාවලියේදී බංග්ලාදේශය අතින් දෙවරක්ම පරාජයට පත්වුණා.
එහිදී බංග්ලාදේශය වෙනුවෙන් දස්කම් දැක්වූ තමීම් ඉක්බාල්, ශකිබ් අල් හසන්, මෂ්රෆේ මොර්ටාසා, මහමුදුල්ලා සහ මුෂ්ෆිකීර් රහීම් යන ක්‍රීඩකයන් 5 දෙනාම මෙවර ආසියානු කුසලාන සංචිතයට ඇතුළත්.
ශ්‍රී ලංකා පිළ මෙහිදී කුසල් මෙන්ඩිස් සහ උපුල් තරංග කෙරෙහි බලාපොරොත්තු තබා සිටින අතර, දිනේෂ් චන්දිමාල් සහ ධනුෂ්ක ගුණතිලක තුවාල ලැබීම නිසා කණ්ඩායමට ඇතුළත් නොවීම අවාසිසහගත තත්ත්වයක්.
සිය කුළුදුල් දරු උපත වෙනුවෙන් ශ්‍රී ලංකාවේ රැදී සිටීම නිසා පළමු තරඟ දෙක අකිල ධනංජයට අහිමි වීම ද ශ්‍රී ලංකා පිළට අවාසිසහගත බව ක්‍රීඩා විචාරකයන්ගේ අදහසයි.
මේ අතර තරඟාවලිය ආරම්භයට පෙර ඊට සහභාගි වන එක් එක් කණ්ඩායම් දක්වන විශේෂ කුසලතා ක්‍රික්ඉන්ෆෝ ක්‍රීඩා විචාරකයාගේ අවධානයට යොමුව තිබුණා.
එහිදී ඔහු ශ්‍රී ලංකා පිල හඳුන්වා ඇත්තේ ප්‍රහාරාත්මක සහ තාක්ෂණික පිතිකරුවන්ගේ කණ්ඩායමක් ලෙසයි.
එකිනෙකාට වෙනස් ප්‍රහාරවලින් සන්නද්ධ වූ උපුල් තරංග, කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනංජය ද සිල්වා යන මුල්පෙල පිතිකරුවන් හතර දෙනාම පන්දුව හතරේ සීමාව නිසිලෙස යොමු කිරීමට සමත්වීම විශේෂ කුසලතාවක් ලෙසයි ඔහු හැඳින්වූයේ.
එමෙන්ම, තිසර පෙරේරා සහ දසුන් ශානක මැද පෙල පිතිකරුවන් මෙන්ම තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන ක්‍රීඩකයන් ලෙස මෑත කාලයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ශක්තියක් වූ බව ක්‍රික්ඉන්ෆෝ විචාරකයා පෙන්වා දෙනවා.