Gossips

ආසියානු කුසලානය ජය ගැනීමට පෙරේරා දෙපලගේ දස්කම් වැදගත්

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩුබායි හිදී අද (15) පැවැත්වෙන එක්දින තරඟයෙන් මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වනවා.
1984 සිට මේ දක්වා තරඟාවලි 13ක් පවත්වා ඇති අතර ඉන් 5 වතාවකදී ආසියානු කුසලානය හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.
ඊට අමතරව ශූරතාව දිනා ඇත්තේ ඉන්දියාව සහ පාකිස්තානය පමණයි.
මෙතෙක් ආසියානු කුසලානය හිමි කර නොගත්ත ද දැන් ප්‍රබල කණ්ඩායමක් වන බංග්ලාදේශය 1995 වසරෙන් පසු එක්සත් අරාබි එමීරයේ ක්‍රිකට් තරඟාවලියකට සහභාගි වී නැහැ.
පසුගිය වසර එක හමාරක කාලය සැලකූ විට ශ්‍රී ලංකාව බංග්ලාදේශයට එරෙහිව ජයග්‍රහණ 3ට දෙකක දස්කමක් වාර්තා කර තිබෙනවා.
විශේෂයෙන් මේ වසර තුළ එක්දින ලකුණු 309ක් රැස් කරගෙන සිටින කුසල් ජනිත් පෙරේරා සහ එක්දින කඩුලු 18ක් බිද හෙලා ඇති තිසර පෙරේරාගේ දස්කම් ආසියානු කුසලාන තරඟාවලිය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාවට වැදගත් වනු ඇති.
එමෙන්ම පසුගිය වසරක කාලය තුළ ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට අවස්ථාවක් නොලද ලසිත් මාලිංග මෙවර ආසියානු කුසලාන ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්.
කෙසේ නමුත්, තවත් ලෝක කුසලාන තරඟාවලියක් ඔහුට හිමි වන්නේ දැයි මෙම තරඟාවලියෙන් තීරණය වනු ඇති.
මාලිංගගේ පන්දු යැවීම පමණක් නොව පන්දු රැකීම ද සාර්ථක මට්මක පැවතිය යුතු බවයි ශ්‍රී ලංකා පිළේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ පවසන්නේ.