Gossips

ආසියානු ක්‍රීඩා උළෙලේ චීනය ඉදිරියෙන්

ඉන්දුනීසියාවේ – ජාකර්තා නුවර පැවැති 18 වන ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට චීනය සමත්වුණා. ඔවුන් රන් පදක්කම් 132 ක්, රිදී පදක්කම් 92 ක් සහ ලෝකඩ පදක්කම් 65 ක් ඇතුලූව පදක්කම් 289 ක් ජයග්‍රහණය කර තිබෙනවා.
රන් පදක්කම් 75 ක් සමඟ පදක්කම් 205 ක් දිනූ ජපානය දෙවන ස්ථානයේ රැඳී සිටින අතර, රන් පදක්කම් 49 ක් සමඟ පදක්කම් 177 ක් දිනූ කොරියාවට තුන්වන ස්ථානය හිමිවුණා.
සත්කාරක ඉන්දුනීසියාව හතරවන ස්ථානය හිමිකරගත්තේ රන් පදක්කම් 31 ක් සමඟ පදක්කම් 98 ක් ජයග්‍රහණය කරමින්.
උස්බෙකිස්ථානය, ඉරානය සහ චීන තායිපේ පදක්කම් සටහනේ පස්වන ස්ථානයේ සිට හත්වන ස්ථානය දක්වා හිමිකරගෙන සිටින අතර, රන් පදක්කම් 15 ක් සමඟ පදක්කම් 69 ක් දිනූ ඉන්දියාවට 8 වන තැන හිමිව තිබෙනවා.
1951 වසරේ සිට මේ දක්වා ආසියානු ක්‍රීඩා උළෙල 15 කට සහභාගිවූ ශ්‍රී ලංකාව, රන් පදක්කම් 11 ක්, රිදී පදක්කම් 10 ක් සහ ලෝකඩ පදක්කම් 20 ක් සමඟ පදක්කම් 41 ක් ජයග්‍රහණය කළද, මෙවර තරගාවලියේදී කිසිදු පදක්කමක් ජයගැනීමට සමත්වූයේ නැහැ.
ඒ සඳහා පැවති අවසන් අවස්ථාවද ඊයේ අහිමිවූයේ ශ්‍රී ලංකා රග්බි පිල ආසියානු ක්‍රීඩා උළෙලේ සත් සාමාජික රග්බි ඉසව්වේ ලෝකඩ පදක්කම සඳහා පැවති තරගයෙන් කොරියාවට පරාජය වීමෙන්.