Gossips

ආවා – ධනුරොක් ගැටුම් මඩින්න යාපනයේ පොලීසි තුනක නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කෙරේ

යාපනය අර්ධද්වීපයේ ඇතැම් ස්ථානවල ඇතිවන ගැටුම් මර්දනය කිරීම සඳහා මනිපායි, කෝපායි සහ චුන්නාකම් පොලිස් ස්ථානවල නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර තිබෙනවා.
උතුර පළාත භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ ආවා සහ ධනුරොක් කල්ලි අතර නිරන්තරයෙන් ඇතිවන ගැටුම් මර්දනය කිරීම සහ ඊට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් සඳහා පොලිස් නිලධාරීන් යෙදවීමට සිදුවීම හේතුවෙන් මෙලෙස ඔවුන්ගේ නිවාඩු අවලංගු කර ඇති බවයි.
ඊට අමතරව පොලිස් බුද්ධි අංශයේ නිලධාරින්ද එම ප්‍රදේශයේ රාජකාරි සඳහා යොදවා තිබෙනවා.
මේ අතර යාපනය – කෝපායි හි සියලූම ග්‍රාම නිලධාරීවරුන් ඊයේ දිනය පුරා ක්‍ෂේත්‍ර රාජකාරිවලින් ඉවත්වී වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතවුණා.
ඒ, ආවා කල්ලියේ ක්‍රියාකාරකම්වලට විරෝධය පළ කරමින්.
පසුගිය 29 වනදා යාපනය ප්‍රදේශයේ පිහිටි ග්‍රාම නිලධාරී කාර්යාලයකටද ආවා කල්ලිය පහරදී තිබුණා.
එමෙන්ම යාපනය – චාවකච්චේරි – සරසාලේ ප්‍රදේශයේ පිහිටි ධනුරොක් කල්ලියේ සාමාජිකයෙකුගේ නිවසකටද පෙරේදා රාත්‍රියේ යතුරුපැදිවලින් පැමිණි පිරිසක් පහරදී තිබූ අතර පසුව අනාවරණය වූයේ මෙම ප්‍රහාරය ආවා කල්ලි සාමාජිකයින් සිදුකර ඇති බවටයි.