Gossips

ආර්ථික වර්ධනයේදී මානව අයිතිවාසිකම් සැලකිල්ලට ගන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය කියයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය වර්ධනය කිරීමේදී මානව අයිතිවාසිකම් සැළකිල්ලට ගෙන කටයුතු කළ යුතු බව මෙරට සංචාරයක නිරත විදේශ ණය සහ මානව අයිතිවාසිකම් බලපෑම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධාන නියෝජිත යුආන් පැබ්ලෝ බොහොස්ලැවැස්කි පවසනවා.
දින 9 ක සංචාරයකින් අනතුරුව කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ ක්‍ෂුද්‍ර මූල්‍ය ආයතන සඳහා පොලී අනුපාත සීමා පනවන ලෙසයි.
එමෙන්ම ඒ සඳහා දැඩි නියාමන ක්‍රම සම්මත කර ක්‍රියාත්මක කළ යුතු බවත්, එක්සත් ජාතීන්ගේ නියෝජිතවරයා අවධාරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකාව ආර්ථික ප්‍රතිසංස්කරණ හා යටිතල පහසුකම් පිළිබඳව ක්‍රියාත්මක වීමේදී මිනිස් අයිතිවාසිකම් සම්බන්ධයෙන් වන කරුණු සැළකිල්ලට ගත යුතු බව ඔහු එහිදී අවධාරණය කළ කරුණක්.
මෙරට කාන්තාවන් ස්වයං රැකියාවල නිරතවීමේදී ක්‍ෂුද්‍රමූල්‍ය ආයතනවලින් ලබාගන්නා ණයවල ඉහළ පොලී අනුපාතයක් පවතින බවයි එක්සත් ජාතීන්ගේ නියෝජිතවරයා වාර්තා අනුසාරයෙන් මෙහිදී සඳහන් කළ අතර, ඒ හේතුවෙන් දරිද්‍රතාවයෙන් පෙළෙන කාන්තා ව්‍යවසායකයින් ප්‍රමාණය ශ්‍රී ලංකාව තුළ සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බවද ඔහු කියා සිටියා.