Gossips

ආර්ථික කළමනාකරණ කමිටුව පවත්වාගෙන යාම ගැන ප්‍රශ්ණයක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් යුත් ආර්ථික කළමනාකරණ කමිටුව පවත්වාගෙන යන්නේද නැද්ද සම්බන්ධයෙන් යෝජනා දෙකක් ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ගෙන තිබෙනවා.
ඊට අදාළ යෝජනාව ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ආර්ථික කළමනාකරණ කමිටුව හරහා ගත් බොහෝ තීන්දු තීරණ අසාර්ථක වී ඇති බවයි.
කුලියාපිටිය – වොක්ස්වැගන් කර්මාන්තශාලාව, හොරණ – ටයර් නිෂ්පාදන කර්මාන්තශාලාව උදාහරණ ලෙස පෙන්වමින් ජනාධිපතිවරයා මෙහිදී සිය කණස්සල්ල පළ කර තිබෙනවා.
ගත වූ කාලසීමාව තුළ දී එම ආර්ථික කමිටුව නිසි ලෙස ක්‍රියාත්මක වී නොමැති බවට පෙන්වා දී ඇති ජනාධිපතිවරයා එහිදී තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ අවශ්‍ය නම් කැබිනට් මණ්ඩලය මගින්ම කමිටුවක් පත් කර අදාළ යෝජනා ක්‍රියාත්මක කළ හැකි බවයි.
ජනාධිපතිවරයාගේ මෙම යෝජනාව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා මෙන්ම අමාත්‍යවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, මලික් සමරවික්‍රම, මංගල සමරවීර, රාජිත සේනාරත්න සහ අමාත්‍ය පාඨලී චම්පික රණවක ද අදහස් පළ කර තිබෙනවා.
අග්‍රාමාත්‍යවරයා විසින් ආර්ථික කළමනාකරණ කමිටුව පිහිටවනු ලැබුවේ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අවසන් තීරණ ගැනීම සඳහායි.
ආර්ථික කටයුතු පිළිබඳ අග්‍රාමාත්‍ය උපදේශකවරුන් වන ආර්. පාස්කරලිංගම්, චරිත රත්වත්තේ සහ මුදල් අමාත්‍යාංශ ලේකම් ආර්.එච්.එස්. සමරතුංග එම කමිටුව නියෝජනය කරනවා.
අමාත්‍යවරුන් ලෙස එම කමිටුව නියෝජනය කරන්නේ මලික් සමරවික්‍රම සහ සරත් අමුණුගමයි.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් එළඹෙන අමාත්‍ය මණ්ඩල හමුවේදී තවදුරටත් සාකච්ඡා කිරීමට නියමිත බවයි රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.