Politics Sri Lanka

ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කරන්නැයි ජනපති නියෝග කරයි

ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කරන්නැයි ජනපති නියෝග කරයි

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ආර්ථීක කලමනාකරණ කමිටුව අහෝසි කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (27) පැවැති කැබ්නට් රැස්වීමේ දී ප්‍රකාශ කර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ ක්‍රියාත්මක කෙරුණු එම ආර්ථික කළමනාකරණ කමිටුව අගමැති ආර්ථික උපදේශකයන් වන චරිත රත්වත්ත, ආර්. පාස්‌කරලිංගම්, මුදල් අමාත්‍යාංශ ලේකම් ආර්.එස්‌.එච්. සමරතුංග, අගමැති ලේකම් සමන් ඒකනායක, ඇමැතිවරුන් වන ආචාර්ය සරත් අමුණුගම, මලික්‌ සමරවික්‍රම යන මහත්වරුද ඇතුළත් ව සිටියහ.

ගත වු කාල සීමාව තුළ දී එම ආර්ථික කමිටුවෙන් කිසිවක් ක්‍රියාත්මක වී නැති බවද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේ යැයි එම ආරංචි මාර්ග කියයි.

වොග්ස් වැගන් වාහන නිෂ්පාදන ව්‍යාපෘතිය, හොරණ ටයර් නිෂ්පාදන කම්හල ආදිය පසුගිය කාලයේ කීවද ඒවා රට නොමග යවන සුළු ප්‍රකාශ පමණක් වී යැයිද ජනාධිපතිවරයා කී බව වාර්තා වේ.

ජර්මනිය, කටාර් රාජ්‍ය ඉන්දියාව ආදි රටවලින් ආයෝජකයින් ඉදිරිපත් වුවද එම ආයෝජන ඇද ගැනීමට ආර්ථික කලමනාකරණ කමිටුව සමත් නොවු බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ යැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

මූලාශ්‍ර ලංකාදීප