Gossips

ආරක්ෂක සූදානම ඉහළ මට්ටමක – හමුදාපතිවරයාගෙන් පැහැදිලි කිරීමක්

රටේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් යුද හමුදාව ඉතා ඉහළ සූදානමක සිටින බව ශ්‍රී ලංකා යුද හමුදාපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
එම නිවේදනයේ දැක්වෙන්නේ රජය, ආරක්ෂක අමාත්‍යාංශය සහ යුද හමුදා නායකත්වය තමන්ගේ පෞද්ගලික හා දේශපාලනික හේතූන් මත ජාතික ආරක්ෂාව ඈදා ගනිමින් විවේචනය කිරීම සමස්ත යුද හමුදාව තරයේ හෙළා දකින බවයි.
රටේ බුද්ධිමත් ජනතාව මෙවැනි අවස්ථාවාදීන්ට කන් නොදී තම රට ආරක්ෂා කර දුන් සහ රට නැවත යුද්ධයකට ගෙන යාමට ඉඩ නොදී කටයුතු කරන හමුදාව සම්බන්ධයෙන් විශ්වාසයෙන් කටයුතු කළ යුතු බව වැඩිදුරටත් එම නිවේදනයේ සඳහන්.
මෑතකදී ඇතැම් විශ්‍රාමික හමුදා නිලධාරීන් විසින් ශ්‍රී ලංකා යුද හමුදාවේ යුදමය සූදානම පිළිබදව ඔවුන් සෑහීමකට පත් නොවන බව ප්‍රකාශ කර ඇති අතර, වසර ගණනාවකට පසුව විශ්‍රාම ගොස් පිටත සිට යුද හමුදාවේ යුද්ධමය ශක්තිය පිළිබදව සමාලෝචනය කිරීමට කිසිවෙකුට නොහැකි මෙන්ම සදාචාරාත්මක අයිතියක් ද නොමැති බව යුද හමුදාපතිවරයා සිය නිවේදනය මගින් අවධාරණය කළා.
කෙසේ වෙතත්, අවශ්‍ය සෑම අවස්ථාවකදීම හිටපු යුද හමුදාපතිවරුන් මෙන්ම අත්දැකීම් සහිත විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ යුද හමුදාවේ ශක්තිය වෙනුවෙන් අදහස් හුවමාරු කර ගැනීමට කටයුතු කර ඇති බව එහි වැඩිදුරටත් සඳහන්.