Gossips

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ගැන සී.අයි.ඩී යෙන්. තවත් හෙළිදරව්වක්

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න නාවික හමුදාපතිවරයාව සිටි සමයේ භාවිතා කළ නිල නිවාසයේ නිල කාමරය මේ දක්වා ඔහු විසින් භාවිතා කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නා.
ඒ, තරුණයින් 11 දෙනෙකු පැහැරගැනීමේ සිද්ධියේ සැකකරුවෙකුට රැකවරණය ලබාදීම සහ පැමිණිල්ලේ සාක්ෂිකරුවෙකුට තර්ජනය කිරීමේ සිද්ධියට අදාල නඩුව කොළඹ කොටුව වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවේ අද කැදවූ අවස්ථාවේදීයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී අධිකරණයට කරුණු වාර්තා කරමින් තවදුරටත් කියා සිටියේ මෙම නඩුවේ දෙවන සැකකරු වන හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න එම තනතුරේ කටයුතු කරන සමයේ නාවික හමුදා මූලස්ථානයේ හත්වන මහලේ පිහිටි මොහුගේ නිල නිවාසයේ කාමරය මෙලෙස තවදුරටත් භාවිතා කරන බවටයි.
එමෙන්ම, සැකකරුවෙකුට රැකවරණය ලබාදීම සහ පැමිණිල්ලේ සාක්ෂිකරුවෙකුට තර්ජනය කිරීම සම්බන්ධයෙන් දුරකතන දත්ත වාර්තා ඔස්සේ තවදුරටත් කරුණු විශ්ලේෂණය කරන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ.
ඒ අනුව මෙම නඩුව අප්‍රේල් මස 03 වනදා යලි කැදවීමට නියමිත අතර එදිනට මෙම නඩුවේ සැකකරුවන්ට අධිකරණයේ පෙනී සිටින ලෙසට ද වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
මේ අතර ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණ කිරීම සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාට එරෙහි නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී අද යලි කැදවීමට නියමිතයි.
මෙම සිද්ධියට අත්අඩංගුවට ගනු ලැබු හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ ඉන්දියානු ජාතිකයා අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.