Gossips

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රිමාන්ඩ් – මාධ්‍යයටත් තර්ජන

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න ලබන මස 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ – කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක අද නියෝග කළා.
ඔහුව අත්අඩංගුවට ගැනුනේ තරුණයින් 11 දෙනෙකු පැහැරගැනීමේ සිද්ධියේ සැකකරුවෙකු වන ලූතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චිට රැකවරණය ලබාදීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේදියි.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න අද කොළඹ – කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණියේ සිය නිල ඇඳුමින් සැරසීගෙනයි.
අදාළ චෝදනාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට ඔහුට කිහිපවරක්ම දැනුම්දී තිබුූ නමුත් ඔහු එම අවස්ථා මගහරිනු ලැබුවා.
අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවෙකු වන ලූතිනන් කමාන්ඩර් ගලගමගේ ලක්සිරි නැමති නිලධාරියාට පසුගිය 26 වනදා ගිනි අවි පෙන්වා තර්ජනය කර පැහැරගැනීමට තැත් කර ඇති බවයි. නාවික හමුදා මූලස්ථානය තුළ සිදුවූ එම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ නිලධාරියා කොළඹ – කොටුව පොලීසියට පැමිණිල්ලක් සිදුකර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ප්‍රකාශ කළා.
එම පැමිණිල්ලේ විමර්ශනවල ප්‍රගතිය දැනගැනීම සඳහා පස්වරු 2.30 දක්වා නඩුව කල් තැබූ මහේස්ත්‍රාත්වරයා කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට නියෝග කළේ අධිකරණයේ පෙනී සිටින ලෙසයි.
අනතුරුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න අධිකරණයෙන් පිටතට පැමිණි අතර, එම අවස්ථාව ආවරණය කළ මාධ්‍යවේදීන්ට ඔහුගේ ආරක්ෂාවට සිවිල් ඇඳුමින් සැරසී සිටි පුද්ගලයින් බාධා කළා.
එම බාධා කිරීම් මධ්‍යයේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාගේ පෙර ගමන් යතුරුපැදියක්ද මාධ්‍යවේදීන් කිහිපදෙනෙකුගේ ගැටුණා.
ඒ අතරතුර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා සිය නිල රථයෙන්ම අධිකරණයෙන් පිටව ගියේ නඩුවේ දෙවන සැකකරු ලෙස නම් කර තිබියදියි.
පසුව මාධ්‍යවේදීන්ට බාධා කළ පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගත් අතර, එහිදී මාධ්‍යවේදීන් සහ එම පුද්ගලයා අතර උණුසුම් සංවාදයක් ද ඇතිවුණා.
පස්වරු 2.30 ට නඩුව යළි කැඳවූ අවස්ථාවේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා සිවිල් ඇඳුමින් සැරසී අධිකරණය හමුවේ පෙනී සිටි අතර, බන්ධනාගාර නිලධාරීන් ඔහුව එහිදී සිය භාරයට ගනු ලැබුවා.
කෙසේ වෙතත්, බන්ධනාගාර නිලධාරීන් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න නඩු ශාලාවේ ඇති සිර මැදිරිය තුළට යොමු නොකර ශාලාවේ අසුන් ගැන් වූ බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.
නඩු විභාගය යළි ආරම්භ කිරීමෙන් පසු කොළඹ කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණයට දැනුම් දුන්නේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා නඩුවේ ප්‍රධාන සැකකරුවෙකු වන ලූතිනන් කමාන්ඩර් ගලගමගේ ලක්සිරිට ගිනි අවියක් පෙන්වා තර්ජනය කර පැහැර ගැනීමට තැත් කළ බවට කළ පැමිණිල්ලේ විමර්ශන මෙතෙක් අවසන්ව නොමැති බවයි.
එම විමර්ශන සිදුකිරීම සඳහා නාවික හමුදා මූලස්ථානයට ඇතුළුවීමට බාධා ඇති වූ බව පොලිසිය සඳහන් කළා. අනතුරුව සිද්ධියේ විමර්ශන නිලධාරියා වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා අධිකරණයට, පොලිස්පතිවරයාගෙන් ලැබුණු රහස්‍ය ලිපියක් ඉදිරිපත් කරනු ලැබුවා.
එමඟින් පොලිස්පතිවරයා සඳහන් කර තිබුණේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා තමන්ට දුරකතන ඇමතුමක් ලබාදී පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ බවට ප්‍රකාශ කළ බවයි.
එම නිසා තමාව තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටයුතුවලට යොදා නොගන්නා ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා සඳහන් කළේ යැයි පොලිස්පතිවරයා ලිපියේ දක්වා ඇතැයි පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා කියා සිටියා.
එහිදී ඔහු පෙන්වා දුන්නේ සිද්ධියේ ප්‍රධාන විමර්ශන නිලධාරීයා ලෙස තමන්ව ස්ථාන මාරු කිරීමට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා උත්සාහ කරන බවයි. එසේම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාව අත්අඩංගුවට ගැනීමට අධිකරණයට හෙලි කළ නොහැකි බාධා මතුව ඇති බව ඔහු පෙන්වා දුන්නා.
කෙසේ වෙතත්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කළා.
ඔහු කියා සිටියේ විමර්ශන නැවැත්වීම සඳහා පොලිස්පතිවරයා, පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා ස්ථාන මාරු කිරීමට උත්සාහ දරන්නේ නම් ඔහුවද අත්අඩංගුවට ගත යුතු බවයි.
පැය 03 කට ආසන්න කරුණු දැක්වීම්වලින් පසු මහේස්ත්‍රාත් රංග දිසානායක සිය නියෝගය ප්‍රකාශයට පත් කළා.
එහිදී මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ විමර්ශන නිලධාරීන්ට නිදහසේ රාජකාරී කිරීමට බාධාවන ලෙස ස්ථාන මාරු කිරීමට උත්සාහ දැරීම, විමර්ශනයේ සාක්ෂි පවතින ස්ථානවලට ඇතුළුවීමට බාධා කිරීම, නඩුවේ සාක්ෂිකරුවෙකුට බලපෑම් කිරීම යන කරුණු මත ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාගේ ඇප අයැදුම ප්‍රතික්ෂේප කරන බවයි.
ඒ අනුව සැකකරු ලබන 05 වැනිදා දක්වා බන්ධනාගාරගත කිරීමට නියෝග කළ, මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමටද අවසර ලබා දුන්නා.
මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න කළ ඉල්ලීමට අනුව ඔහුට විශේෂ ආරක්ෂාවක් ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසයි.