අධිකරණයට භාරවූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න ලබන මස 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
කොළඹ – කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක විසින් මෙම නියෝගය ලබාදී ඇති අතර, ඔහුගේ ඇප ඉල්ලීමද ප්රතික්ෂ්ප වූ බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.
තරුණයින් 11 දෙනෙකු පැහැරගැනීමේ සිද්ධියේ සැකකරුවෙකු වන දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ලූතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චිට රැකවරණය ලබාදීම සම්බන්ධයෙන් එල්ලවන චෝදනාව පිළිබඳව කරුණු දැක්වීම සඳහා අද ඔහු මුල්වරට අධිකරණය හමුවේ පෙනී සිටියා.
ඊයේ (27) දිනයේ මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පැමිණෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම්දී තිබූ නමුත් ඔහු ඊයේ එහි පෙනී සිටියේ නැහැ.
පසුගිය සැප්තැම්බර් 10 වනදා ඔහුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබුණ ද එදින නොපැමිණියේ මෙක්සිකෝවේ රාජකාරි කටයුත්තක් සඳහා පිටත්ව යාම හේතුවෙන්.
මීට පෙර අවස්ථා 3 කදී අධිකරණය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාට එරෙහිව නියෝග නිකුත් කර තිබු අතර, එහිදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ ඔහු අත්අඩංගුවට ගැනිමට තරම් සාක්ෂි පවතින බවයි.
ඒ අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක පසුගිය 02 වනදා නියෝග කළා.