Gossips

ආයෝජන මණ්ඩලයේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලය ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ඉල්ලා අස්වී ඇති අතර, එහි අධ්‍යක්ෂ ජනරාල්වරයාට ද ඉල්ලා අස්වන ලෙස දැනුම්දී තිබෙනවා.
ආයෝජන මණ්ඩලයේ මාධ්‍ය අධ්‍යක්ෂකවරයා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ නව නිලධාරි මණ්ඩලය ලබන සදුදා දිනයේදී ජනාධිපතිවරයා විසින් පත් කිරීමට ඉඩ ඇති බවයි.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, ලංකා බැංකුව සහ මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් විසුරුවා හැර ඇති බව පසුගියදා වාර්තා වුණා.
ඒ අනුව ආයෝජන මණ්ඩලයේ සභාපති දුමින්ද්‍ර රත්නායක සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වන මංගල යාපා, අජිත් ගුණවර්ධන, සාගර ගුණවර්ධන, හේමන්ත වික්‍රමසිංහ යන අය පසුගිය 18 වනදා මෙලෙස ඉල්ලා අස්වී තිබෙනවා.
ආයෝජන මණ්ඩලයේ මාධ්‍ය අධ්‍යක්ෂවරයා සදහන් කළේ එහි අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ දුමින්ද්‍ර ආරියසිංහට ඉල්ලා අස්වන ලෙස ජනාධිපති කාර්යාලය දැනුම්දී ඇති බවයි.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අදාළ විෂයභාර අමාත්‍යවරයාගේ නිර්දේශ අනුව ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබනවා.
කෙසේ වෙතත්, ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයන් විසුරුවා හැර නොමැති බවයි විෂයභාර අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ඊයේ ප්‍රකාශ කළේ.
මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ විෂය භාර අමාත්‍යවරයාගේ ඉල්ලීම මත ඕනෑම අවස්ථාවක සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදීමට තමන් සූදානම් බවයි.