නිකවැරටිය ප්රදේශයේ පදිංචි ආබාධිත රණවිරුවෙකුට ප්රදේශයේ හිටපු පළාත් සභා මන්ත්රීවරයෙකු පහරදී ඇති බව වාර්තාවනවා.
එම පළාත් සභා මන්ත්රිවරයාගේ ප්රතිරූපයට හානිවන අයුරින් ෆේස්බුක් සමාජ ජාලයේ ඇතුළත් කරන ලද සටහනකට අදාළවයි මෙම පහරදීම සිදුකර ඇත්තේ.
එම ආබාධිත රණවිරුවාගේ බිරිඳ මීට පෙර කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධීක්ෂණ නිලධාරිනියක් ලෙස සේවය කර තිබුණා.
පසුව ඇය නිකවැරටිය රෝහළට මාරුකර යවා ඇති අතර, අනතුරුව යළිත් ඇය කුරුණෑගල රෝහලට මාරු කිරීමට තීරණයක් ගෙන තිබූ බවයි ඇය ප්රකාශ කළේ.
එම ස්ථාන මාරුවීම වෙනස් කරගැනීමට අදාළ කාන්තාව චෝදනා එල්ලවන පළාත් සභා මන්ත්රීවරයා හමුවී තිබෙනවා.
එම කාන්තාව චෝදනා කරන්නේ පළාත් සභා මන්ත්රීවරයා විසින් තමන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලා සිටි බවයි.
ඒ හේතුවෙන් ඇය රැකියාවට යාම නතර කිරීමට තීරණය කර තිබූ බව සඳහන්.
පසුව එම කාන්තාව සහ ආබාධිත රණවිරුවා විසින් පළාත් සභා මන්ත්රිවරයාට විරුද්ධව ෆේස්බුක් සටහනක් තබා තිබුණා.
එම කාන්තාව ප්රකාශ කර සිටියේ නිකවැරටිය රෝහලේ සිදුව කෝටි 4 කට ආසන්න මුදල් අක්රමිකතාවකට අදාළ පළාත් සභා මන්ත්රීවරයා සම්බන්ධ වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් තමන් මෙලෙස ෆේස්බුක් තුළට මෙලෙස සටහනක් ඇතුළත් කිරීමට තීරනය කළ බවයි.
කෙසේ වෙතත් අදාළ ෆේස්බුක් සටහනට විරුද්ධත්වය පළ කරමින් එම පළාත් සභා මන්ත්රීවරයා විසින් නිකවැරටිය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.
පසුගිය 22 වනදා එම පැමිණිල්ලට අදාළව දෙපාර්ශවයම නිකවැරටිය පොලීසියට පැමිණ ඇති අතර, පිටව යාමෙන් අනතුරුව පොලිස් ස්ථානය ආසන්යේදී සිදුවූ බහින්බස්වීමක් දුරදිගයාම හේතුවෙන් දෙපාර්ශවය අතර ගැටුමක් හටගෙන තිබෙනවා.
අදාළ කාන්තාව පවසන්නේ හිටපු පළාත් සභා මන්ත්රීවරයා සහ ඔහුගේ පුත්රයා විසින් අමානුෂික අන්දමින් ආබාධිත හමුදා සෙබළෙකු වන තම ස්වාමියාට පහරදුන් බවයි.
අදාළ කාන්තාව ප්රකාශ කර සිටියේ තම ස්වාමියාට පොලිස් ස්ථානය ආසන්නයේදී අමානුෂික අන්දමින් පහරදීම සිදුකළද එම පලාත් සභා මන්ත්රීවරයාට සහ ඔහුගේ පුත්රයාට මෙතෙක් නීතිය ක්රියාත්මක වී නොමැති බවයි.
අප මේ සම්බන්ධයෙන් නිකවැරටිය පොලීසියේ උසස් නිලධාරියෙකුගෙන් විමසීමක් කළා.
මෙම සිදුවීමට අදාළ පාර්ශවයන් සම්බන්ධයෙන් ගතයුතු නීතිමය ක්රියාමාර්ග කඩිනමින් නිිසියාකාරව සිදුකරන බව එහිදී ඔහු සඳහන් කළා.