Gossips

ආපදා මරණ 05 දක්වා ඉහළට – නිල්වලා, ගිං, කළු, කැළණි, අත්තනගලු සහ මාඔය පිටාර මට්ටමට – දිස්ත්‍රික්ක 05කට පැනවූ අවධානම තවදුරටත්

දිවයිනේ බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම, ඌව, සහ වයඹ පළාත්වලට අද (21) දිනයේත් තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
විටින් විට පැයට කිලෝමීටර් 40ත්, 45ත් අතර තද සුළං ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
ඊයේ (20) රාත්‍රී 9.30 වන විට වැඩිම වර්ෂාපතනය රත්නපුරයට ලැබී තිබූ අතර එය මිලිමීටර් 222.5ක්.
ඇහැළියගොඩට මිලිමීටර් 201.5ක සහ දෙහි ඕවිටට මිලිමීටර් 153.8ක වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.
අරණායකට මිලිමීටර් 108ක වර්ෂාපතනයක් ලැබී ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ.
වර්ෂා තත්ත්වයත් සමඟ නිල්වලා, ගිං, කළු, කැළණි සහ බෙන්තර ගඟ මෙන්ම අත්තනගලුඔය සහ මාඔය ඇතැම් ස්ථානවලින් ගං වතුර මට්ටමට ළඟා වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
මේ නිසා ගංඟා ආශ්‍රිත පහත්බිම්වල වෙසෙන ජනතාව ඒ පිළිබදව දැඩි විමසිල්ලෙන් සිටින ලෙසටයි දැනුම් දෙන්නේ.
අකුණු අනතුරු සහ සුළං හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
තබ්බෝව ජලාශයේ මසුන් මරමින් සිටි ධීවරයෙකු ඊයේ රාත්‍රියේ අකුණුසැර වැදීමෙන් මිය ගොස් තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තම්බෝව – නොම්බර 1 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 34ක විවාහක පුද්ගලයෙක්.
ඊට අමතරව හොරණ, පොළොන්නරුව සහ මොණරාගල ප්‍රදේශවලින් ද ආපදා මරණ වාර්තා වුණා.
පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක 5කට ඉදිරි පැය 24 සදහා ද නාය යාමේ අනතුරු ඇගවීම ක්‍රියාත්මකයි.
ඒ අනුව රත්නපුර, කළුතර, ගාල්ල, නුවරඑළිය සහ මහනුවර යන දිස්ත්‍රික්කවලට මෙම අනතුරු ඇඟවීම ක්‍රියාත්මක බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.
එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සදහන් කළේ රත්නපුර, කළුතර, කෑගල්ල, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල නාය යාම් ලක්ෂණ පෙන්නුම් කළ ස්ථානවලින් ජනතාව ඉවත් කළ බවයි.
එමෙන්ම මධ්‍යම කඳුකරයට ඇද හැලෙන වැසිත් සමඟ ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක්, දැදුරු ඔයේ සහ උඩවලව ජලාශයේ වාන් දොරටු එක බැගින් තවදුරටත් විවෘත කර තිබෙනවා.
අධික වර්ෂාවත් සමඟ ආපදා ඇති වන ප්‍රදේශවල ජනතාවට සහයවීම සඳහා ත්‍රිවිධ හමුදාව සූදානමින් සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
අධික වැසිත් සමඟ පිටාර ගලමින් තිබූ පල්ලම – රතඹලාඔයට ආසන්න නිවාස 3ක කොටු වූ 15 දෙනෙකු නාවික හමුදාවේ සහයෙන් අද අලුයම මුදා ගත් බවයි පුත්තලම ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ඒ.එම්.ආර්.එන්.කේ. අලහකෝන් සඳහන් කළේ.