Gossips

ආපදා තත්ත්වයෙන් දිස්ත්‍රික්ක 18 කට බලපෑම් – මරණ 11 ක් – 105,352 කට පීඩා

බෙංගාල බොක්කේ පවතින කැළඹිලි සහගත තත්ත්වය අඩු පීඩන තත්ත්වයක් දක්වා වර්ධනය වුවහොත් ඉදිරි දින කිහිපයේදීත් ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
අද රාත්‍රියේත් බොහෝ ප්‍රදේශවලට තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ.
දිස්ත්‍රික්ක 18 කට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 105,352 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර, සිදුවූ පුද්ගල මරණ 11 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කල්පිටිය කලපුවේ මසුන් මරමින් සිටි ධීවරයෙකු ද අද උදෑසන අකුණුසැර වැදීමකින් ජීවිතක්ෂයට පත්වූ අතර, ඔහු 63 හැවිරිදි සිව්දරු පියෙක්.
වර්ෂාවත් සමඟ ඇතිවන අකුණු අනතුරු හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ පමණක් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මීට අමතරව වසරේ මේ දක්වා කාලය තුළ අකුණු අනතුරුවලින් පුද්ගලයින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.
මේ අතර වර්ෂාවත් සමඟ කළු ගඟේ ජල මට්ටම අද රාත්‍රිය වනවිට ඉහළ යා හැකි බැවින් ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියා.
පසුගිය දින කිහිපය තුළ ඉහළ ගොස් තිබූ කැළණි ගෙඟ් ජල මට්ටම මේ වනවිට පහළ බසිමින් පවතින අතර, එය නාගලගම් වීථිය ජල මාපකයේ ඉහළ අගයක පවතිනවා.
එමෙන්ම මහවැලි, නිල්වලා යන ගංඟාවල මෙන්ම මා ඔය සහ අත්තනගලූ ඔයේ ජල මට්ටම පහළ බසිමින් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
පවතින ආපදා තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්වත්කිරීම සඳහා අදත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.
මේ අතර රාජාංගණය, දැදුරුඔය, පොල්ගොල්ල සහ උඩවලව යන ජලාශවල වාන් දොරටු තවමත් විවෘතව පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂ මාලා අලවතුගොඩ එහිදී කියා සිටියා.
වැසි තත්ත්වයේ වැඩිවීමත් සමග තවත් දිස්ත්‍රික්ක 6 ක් සඳහා තවදුරටත් නායයෑම් අනතුරු ඇඟවීමක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කර තිබෙනවා.
මහනුවර, මාතලේ, බදුල්ල, කුරුණෑගල, ගම්පහ සහ කොළඹ එම දිස්ත්‍රික්ක වන අතර, මීට පෙර රත්නපුර, කෑගල්ල, නුවරඑළිය, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්ක සදහා පැනවූ නායායෑම් අවදානමද එලෙසින්ම ක්‍රියාත්මකයි.
වර්ෂාවත් සමඟ තවමත් දැඩි බලපෑම් එල්ලවී ඇත්තේ පුත්තලම සහ රත්නපුර දිස්ත්‍රික්කවලටයි.
පුත්තලම දිස්ත්‍රික්කයේ කුඩා වැව් සියල්ලම මේ වනවිට වාන් දමමින් පවතින නිසා මහවැව, මාදම්පේ, නාත්තණ්ඩිය සහ ආරච්චිකට්ටුව යන ප්‍රදේශවල පහත්බිම් ජලයෙන් යටවී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
මේ අතර රත්නපුර දිස්තික්කයේ ගංවතුර තත්ත්වය අඩුවෙමින් පවතින බවයි එහි සිටින හිරු වාර්තාකරු ධනේෂ් පෙරේරා සඳහන් කළේ.
මේ වනවිටත් ගම්පහ සහ කොළඹ යන දිස්ත්‍රික්කවලද ඇතැම් පහත් බිම් ජලයෙන් යටවී තිබෙනවා.
කැළණි ගඟ පිටාර ගැලීමත් සමඟ බියගම මල්වාන ප්‍රදේශයේ මාර්ග මෙන්ම පහත් බිම් රැසක් තවමත් ජලයෙන් යටවී පවතින බවටයි වාර්තාවන්නේ.
ගිලා බැසීමේ අවදානමක් හේතුවෙන් බියගම – කඩුවෙල නගර යා කෙරෙන ප්‍රධාන පාලමේ වාහන ධාවනය එක් මංතීරුවකට අද සීමා කෙරුණා.
වර්ෂාවත් සමඟ හානිවූ මාර්ග සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමට මාර්ග සංවර්ධන අධිකාරිය විශේෂ දුරකථන අංක කිහිපයක්ද මේ වනවිට හඳුන්වාදී තිබෙනවා.
අධිවේගී නොවන අනෙකුත් මාර්ග සම්බන්ධයෙන් 1968 යන දුරකථන අංකයටත්, අධිවේගී මාර්ගය සම්බන්ධයෙන් 1969 යන දුරකථන අංකවලට දැනුම්දීමේ හැකියාව පවතින බවයි මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ.
මේ අතර ආපදාවන්ට මුහුණදීමට ත්‍රිවිධ හමුදාවේ 5204 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සූදානම් කර ඇති බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
මියගිය අයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 ක උපරිමයක් දක්වා වන්දි ලබාදීමට සහ නිවාස පිරිසිඳු කරගැනීම සඳහා එක් ඒකකයකට රුපියල් දස දහසක් ලබාදීමට සූදානම් බවද රජය ප්‍රකාශ කළා.
සහන කටයුතු වෙනුවෙන් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 49 ක්.