Gossips

ආනයනික මිදි, ඇපල් සහ දොඩම්වල තහනම් වල්නාශක සංඝටක

දැනට වෙළඳපොලේ පවතින ආනයනික ඇපල්, මිදි සහ දොඩම්වල පරීක්ෂා කළ සාම්පලවල ශ්‍රී ලංකාවේ තහනම් පලිබෝධ නාශක සංඝටක අඩංගු බවට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ යැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පවසනවා.
එම කාරක සභාව පසුගියදා නිකුත් කළ දෙවන වාර්තාවේ දැක්වෙන්නේ වෙළඳපොලේ දැනට පවතින ආනයනික පළතුරුවල අඩංගු පලිබෝධනාශක සංඝටක සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සෑම දිස්ත්‍රික්කයකම පරීක්ෂණ සිදුකර ඇති බවයි.
එම සාම්පලවල තහනම් කරන ලද පළිබෝධ නාශක සංඝටක අඩංගු වූ බව ද පෙන්වා දෙන අදාළ වාර්තාව ආනයනික පළතුරු තොග සාම්පලවල පළිබෝධ නාශක ශේෂ සංඝටක හමුවූ බවද ප්‍රකාශ කළා.
මෙම පළිබෝධනාශක සංඝටක, පරීක්ෂා කරන ලද පළතුරුවල අන්තර්ගත වූයේ ඉතා සුළු ප්‍රමාණයක් වුවත්, එම පළිබෝධනාශක ශ්‍රී ලංකාවේ තහනම් කර ඇති හෙයින් සුළු ප්‍රමාණවලින් හෝ ආහාරවල අන්තර්ගත විය නොහැකි බැවින් ඒ සම්බන්ධයෙන් කාරක සභාවේ විශේෂ අවධානය යොමුවී තිබෙනවා.
ඒ අනුව මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ගත් ක්‍රියාමාර්ග පිළිබඳව වාර්තාවක් කැඳවීමටද රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව නියෝග කර ඇති බව සඳහන්.
රජයේ ගිණුම් කාරක සභාව ගුණාත්මක ආහාර ආනයනය සම්බන්ධයෙන් අදාළ රාජ්‍ය ආයතනවල මැදිහත්වීම පිළිබඳව සිදුකරන ලද කාර්යසාධන විගණන වාර්තාව මගිනුයි මෙම කරුණු හෙළිදරව් කර ඇත්තේ.
මේ සම්බන්ධයෙන් කොළඹ ඊයේ (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකළ යුතු බවයි.