Gossips

ආනයනික පළතුරු සඳහා වන බදු ඉහළ දැමීමට පියවර

ආනයනික පළතුරු සඳහා අය කෙරෙන බදු ඉහළ දැමීමට ඉදිරියේදී පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
දේශීය පළතුරු ගොවියා රැක ගැනීම වෙුනවෙන් මෙම තීරණය ගන්නා බවයි තලවිල ග්‍රාම ශක්ති නිෂ්පාදන ගම්මානයේ නිරීක්ෂණයකට එක්වෙමින් ජනාධිපතිවරයා කියාසිටියේ.
මෙහිදී තලවිල ප්‍රදේශයේ ජනතාව දීර්ඝ කාලයක් පුරා තමන් මුහුණදෙන ගැටලු පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කර තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ ජල හිගය, විදුලිය පිළිබඳ ගැටලු, ප්‍රවේශ මාර්ග පහසුකම්, කෘෂි ආම්පන්න හිගය සහ තම නිශ්පාදන අලෙවි කර ගැනීමේ දී මතුව ඇති ගැටළු ඒ අතර වන බවයි.
ප්‍රදේශයේ විදුලිබල ගැටළුවලට ස්ථිර විසඳුමක් ලබාදීමේ වැඩපිළිවෙල කඩිනමින් ක්‍රියාවට නංවන බව මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී සඳහන් කළා.
එමෙන්ම තම පළතුරු නිශ්පාදන සඳහා නිසි මිලක් නොලැබීමේ ගැටලුව පිළිබඳව ද තලවිල ප්‍රදේශයේ පළතුරු ගොවීන් ජනාධිපතිවරයා දැනුවත් කර තිබෙනවා.
එහිදී ඔවුන් ඉල්ලා ඇත්තේ පළතුරු ආනයනය හේතුවෙන් තම කර්මාන්තයට එල්ලවී ඇති අභියෝගයට විසඳුමක් ලබාදෙන ලෙසටයි.
පළතුරු හා කෘෂිකර්ම නිෂ්පාදන ආනයනය පිළිබඳ නිසි පියවර ඉදිරියේදී ගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා එහිදී කියාසිටියා.
ඒ අනුව දේශීය පළතුරු ගොවියා රැක ගැනීම වෙනුවෙන් ආනයනික පළතුරු සඳහා බදු ඉහළ දැමීමට පියවර ගන්නා බවයි මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ.