Gossips

ආදිවාසී ගම්වැසියන් ජලය නොමැතිව පීඩාවෙන්

පානීය ජලය නොමැතිවීම හේතුවෙන් තමන් දැඩි අසීරුතාවයට පත්ව සිටින බව මහියංගනය – දඹාන ආදීවාසී ගම්මානයේ ප්‍රදේශ කිහිපයක ජනතාව පවසනවා.
ආදිවාසී ගම්මානයේ ගුරු කුඹුර, වතුයාය, මාවරාගල වෙල් පල්ලෙවෙල හා උළුකැටගොඩ ඇතුළු ප්‍රදේශ වලට මෙම පානීය ජල ගැටලූව උග්‍ර ලෙස බලපා ඇති බව හිරු ප්‍රාදේශීය වාර්තාකරු සදහන් කළා.
දඹානේ ජනතාව මුහුණදෙන මෙම ගැටලූව සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය මහියංගනය ප්‍රාදේශීය සභාවේ සභාපති කරූ වීරරත්නගෙන් විමසීමක් කළා.
ඔහු කියා සිටියේ පානීය ජල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් සෑම වසරකම මෙම කාලසීමාවේදී ජල ගැටළුවක් මතුවන බවයි.
කෙසේ වෙතත්, බවුසර් මගින් ජලය ලබාදීමට කටයුතු කරන බවද ඔහු කියා සිටියා.
මේ අතර, අනුරාධපුර, පොළොන්නරුව සහ බදුල්ල ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක ද මේ වනවිට පවතින්නේ වියළි කාලගුණික තත්ත්වයක්.
එම තත්ත්වය තවදුරටත් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කරුණානායක හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියා.