Gossips

ආණ්ඩුව, පාර්ලිමේන්තුව වර්ජනය කරයි

කතානායකවරයා සහ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට කතානායකවරයා පත්කළ සාමාජික සංයුතියට විරෝධය පළ කර ආණ්ඩු පක්ෂය අද පාර්ලිමේන්තු සභා ගර්භයෙන් ඉවත්ව ගියා.
කෙසේ වෙතත්, පසුව ආණ්ඩු පක්ෂය නොමැතිව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා වූ යෝජනාව ඡන්දයෙන් සම්මත කරගෙන තිබුණා.
මීට පෙර පාර්ලිමේන්තුව රැස්වූ දිනයේ යෝජනා වූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පිළිබඳ අවසන් තීන්දුව ප්‍රකාශයට පත්වීමට නියමිතව තිබූ හෙයින් අද පාර්ලිමේන්තු සභා වාරය පිළිබඳව විශේෂ අවධානයක් යොමුව තිබුණා.
අද පාර්ලිමේන්තුව ආරම්භවීමට පෙර තීරණාත්මක හමු කිහිපයක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති අතර, ඉන් එක් හමුවක් වූයේ කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පක්ෂ නායක රැස්වීමයි.
එහිදී ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අදහස් පිළිබඳව එකඟතාවකට පැමිණීමට හැකි වූයේ නැහැ.
පසුව කතානායක කාර්යාලය නිවේදනය කළේ පාර්ලිමේන්තුව ආරම්භයේදී තේරීම් කාරක සභාව පිළිබඳව කතානායකවරයාගේ අවසන් ස්ථාවරය දැනුම් දෙන බවයි.
මේ අතර, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්වුණු අතර, හිටපු අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමද පැවැත්වුණා.
දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම්ද එලෙස හමු වී සාකච්ඡා කර තිබුණා.
පසුව පාර්ලිමේන්තු සභා වාරය ආරම්භ වූ අතර, එහිදී කතානායකවරයා එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව නියෝජනය කිරීම සඳහා දිනේෂ් ගුණවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා, විමල් වීරවංශ, මහින්ද සමරසිංහ සහ එස්.බී.දිසානායක යන අමාත්‍යවරුන් පස් දෙනා නම් කරනු ලැබුවා.
එක්සත් ජාතික පෙරමුණ වෙනුවෙන් නම් කරනු ලැබුවේ ලක්ෂ්මන් කිරිඇල්ල, රාවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, මනෝ ගනේෂන් සහ පාඨලී චම්පික රණවක යන මන්ත්‍රීවරුන්. එමෙන්ම, දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයා සහ ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් විජිත හේරත් මන්ත්‍රීවරයා කතානායකවරයා විසින් නම් කළා.
කතානායකවරයාගේ තීන්දුව දැනුම්දීමෙන් පසු සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කළේ කතානායකවරයාගේ ස්ථාවරය පිළිගත නොහැකි බවයි.
ආණ්ඩු පක්ෂය පිළිගැනීමට කතානායකවරයා කටයුතු කළ යුතු බවත්, පාර්ලිමේන්තු සම්ප්‍රදායට ගරු කරමින් ආණ්ඩු පක්ෂයට බහුතරය ලබාදිය යුතු බවත් ඔහු ප්‍රකාශ කළා.
එම අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල කතානායකවරයාගේ අදහස් දැක්වීම අනුමත කරමින් අදහස් පළ කළා.
පසුව නැගී සිටි බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයාද තේරීම් කාරක සභාවේ සංයුතිය සම්බන්ධයෙන් එල්ල කළේ දැඩි විරෝධයක්.
එහිදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක නැගී සිටිමින් කතානායකවරයාගේ තීරණය පිළිබඳව අදහස් පළ කළ අතර, අමාත්‍ය විමල් වීරවංශ පසුව සඳහන් කළේ කතානායකවරයාට සහ ඔහුගේ තීරණයට විරෝධය පළ කරමින් ආණ්ඩු පක්ෂයේ සියළු මන්ත්‍රීවරුන් සභාවෙන් ඉවත් වන බවයි.
මෙහිදී පාර්ලිමේන්තු කටයුතු තේරීම් කාරක සභාව සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් අවශ්‍ය වන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක කියා සිටියා.
ඒ අනුව කතානායකවරයා එම ඡුන්ද විමසීම විද්‍යුත් ක්‍රමය යටතේ සිදුකිරීමට තීරණය කළා.
පාර්ලිමේන්තුවේ සීනුව නාද කිරීමෙන් පසු ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ වූ අතර, ඒ වනවිට කතානායකවරයාගේ තීරණයට විරෝධය පළ කරමින් සියළු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සභා ගර්භයෙන් ඉවත්ව තිබුණා.
අවසානයේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් නොමැතිව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ තේරීම් කාරක සභාව පිළිබඳ යෝජනාව සම්මත වූ බවයි කතානායකවරයා නිවේදනය කළේ.
මේ අතර, සභාවෙන් ඉවත්ව යෑමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කියා සිටියේ කතානායකවරයාට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ගයකට යොමුවීමට සූදානම් වන බවයි.
අනතුරුව පාර්ලිමේන්තුව ලබන 27 වැනිදා දක්වා කල් තැබුණු අතර, වත්මන් තත්ත්වය පිළිබඳව කල් තැබීමේ යෝජනාවක් පිළිබඳ විවාදයක් අනතුරුව ආරම්භ වුණා.