Gossips

ආණ්ඩුව නීතිපති උපදෙස් ලබා ගැනීමට සැරසේ

ආණ්ඩුවට සහය පළ කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට අමාත්‍ය ධුර ලබාදීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගැනීමෙන් අනතුරුව තීරණයක් ගන්නා බව ඩිජිටල්, යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී.පෙරේරා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ඊයේ පස්වරුවේ සිය අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.
නව ආණ්ඩුවේ කැබිනට් නොවන අමාත්‍යවරුන් තුන් දෙනෙකු, නියෝජ්‍ය අමාත්‍යවරුන් 7 දෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරුන් 17 දෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ ඊයේ පස්වරුවේ දිවුරුම් දුන්නා.
කෙසේ වෙතත්, පසුගියදා ආණ්ඩුවට සහය පළ කිරීමට එක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් කිසිවෙකුට හෝ ඊයේ දිනයේදීත් අමාත්‍ය ධුර හිමිවූයේ නැහැ.
කැබිනට් නොවන, නියෝජ්‍ය සහ රාජ්‍ය අමාත්‍ය ධුර සදහා ජනාධිපතිවරයා වෙත යැවූ නම් ලැයිස්තුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් නම් කිහිපයක් සදහන් වූ බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කළා.
මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ඊයේ මහනුවර පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට සහය පළ කිරීමට එක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට ඇතැම් විට ඉදිරියේදී මන්ත්‍රී ධුරය ද අහිමි විය හැකි බවයි.