මෙවර පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් රැසක් නියෝජනය කරන ආසන පරාජයට පත්වී තිබෙනවා.
එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපදේශිකාවක් වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ආසන සංවිධායක ධුරය දරණ අත්තනගල්ල ආසනයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජයට පත්වුණා.
එම පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක නියෝජනය කරන කලාවැව ආසනය ද නිදහස් පක්ෂය පරාජය වීම විශේෂත්වයක්.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර සංවිධායක ධුරය දරණ තංගල්ල ආසනයෙන් ද නිදහස් සන්ධානය පරාජයට පත්වූ අතර, අමාත්‍ය එස්.බී.දිසානායක සංවිධායක ධුරය දරණ පහත හේවාහැට ආසනය ද පරාජයට පත්වුණා.
එමෙන්ම, මහින්ද සමරසිංහ අමාත්‍යවරයා සංවිධායක ධුරය දරණ පානදුර ආසනය සහ ලක්ෂ්මන් යාපා අමාත්‍යවරයා නියෝජනය කරන හක්මන ආසනය ද එක්සත් ජනතා නිදහස් සන්ධානය පරාජයට පත්වූ අතර අමාත්‍ය විජිත් විජයමුනි සොයිසාට ද මෙවර මැතිවරණයේදී බිබිල ආසනය ජයග්‍රහණය කිරීමට හැකිවූයේ නැහැ.
බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය සංවිධායක ධුරය දරණ මහරගම ආසනය ද එක්සත් ජනතා නිදහස් සන්ධානය පරාජයට පත්වුණා.
එමෙන්ම, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායකට ද මෙවර පස්සර ආසනය අහිමි වී තිබෙනවා.
වසර ගණනාවක් පුරා එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ පැවති කඩුවෙල නගර සභාව මෙවර එම පක්ෂය පරාජයට පත්වූ අතර, වසර ගණනාවක් එහි නගරාධිපති ධුරය දැරූ ජී.එච්.බුද්ධදාසට සිය නගර සභා නියෝජනය ද අහිමිවීම විශේෂත්වයක්.
මේ අතර, එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් රැසක් ද මෙවර මැතිවරණයේදී සිය ආසන පරාජයට පත්වී තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස සංවිධායක ධුරය දරණ තිස්සමහාරාම ආසනය සහ මංගල සමරවීර අමාත්‍යවරයා සංවිධායක ධුරය දරණ මාතර මැතිවරණ ආසනය ද එක්සත් ජාතික පක්ෂය පරාජය වුණා.
අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා නියෝජනය කරන කැළණිය ආසනය ද එක්සත් ජාතික පක්ෂය පරාජයට පත්වීම විශේෂත්වයක්.
රාජිත සේනාරත්න අමාත්‍යවරයාට ද බේරුවල ආසනය ජයග්‍රහණය කිරීමට හැකිවූයේ නැහැ.
නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා සංවිධායක ධුරය දරණ කෝට්ටේ ආසනය මෙන්ම රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ සංවිධායක ධුරය දරණ කඩුවෙල ආසනය ද මෙවර එක්සත් ජාතික පක්ෂයට අහිමි වුණා.
අමාත්‍ය පී.හැරිසන් අනුරාධපුර බටහිර ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකවරයා වන අතර ඔහුට ද එම ආසනය ජය ගැනීමට හැකිවී නැහැ.
එක්සත් ජාතික පක්ෂයේ පසුපෙල මන්ත්‍රීවරයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ද මෙවර බණ්ඩාරවෙල ආසනයෙන් පරාජයට පත්වුණා.
හිටපු අමාත්‍ය ගුණරත්න වීරකෝන්, එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ කරන්දෙණිය ප්‍රාදේශීය සභාවට තරග කළ අතර, හිටපු අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවට නිදහස් පක්ෂයෙන් තරග වැදුණා.
එහෙත් ඔවුන් දෙදෙනාටම මෙවර මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට හැකිවූයේ නැහැ.
විදුහල්පතිනියක් දණ ගැස්සවීම සම්බන්ධයෙන් පසුගිය දිනවල කතාබහට ලක්වූ ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායකගේ බිරිද වන ෂෙහානි බස්නායක, එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ ඇල්ල ප්‍රාදේශීය සභාවට තරග කළ ද ඇයට ද එම ප්‍රාදේශීය සභාවේ අසුනක් හිමිකර ගැනීමට නොහැකි වී තිබෙනවා.
එමෙන්ම, නවගත්තේගම විදුහලක ගුරුවරියක් දණ ගැස්සවීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වූ හිටපු පළාත් සභා අමාත්‍ය ආනන්ද සරත් කුමාරගේ බිරිද ද මෙවර නවගත්තේගම ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් වුවත් ඇය ද පරාජයට පත්වීම විශේෂත්වයක්.