Gossips

ආණ්ඩුවේ දෙවන කැබිනට් සංශෝධනය අද

වත්මන් ආණ්ඩුවේ දෙවන අමාත්‍ය මණ්ඩල සංශෝධනය අද සිදු කිරීමට නියමිතයි.
පෙරවරු 11ට අමාත්‍යවරුන් දිවුරුම් දීමේ කටයුතු සිදුවන බවයි රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.
එහිදී අමාත්‍ය ධුර රැසක් මෙන්ම ඇතැම් අමාත්‍යාංශවල විෂය පථයන් ද වෙනස් වන බව රජයේ ආරංචි මාර්ග කියා සිටියා.
උසස් අධ්‍යාපන, ව්‍යවසාය සංවර්ධන ඇතුළු අමාත්‍යාංශ කිහිපයක වෙනස්කම් සිදුවන බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සදහන් කළ අතර, නීතිය හා සාමය අමාත්‍ය ධුරය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාට ලබාදෙන බවට මත පළ වුණත්, නිදහස් පක්ෂය ඊට දැඩි විරෝධයක් පළ කර ඇති බව ද ඊයේ වාර්තා වුණා.
එමෙන්ම, රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු ප්‍රකාශ කළේ එස්.බී.දිසානායක, විජිත් විජිතමුනි සොයිසා, දයාසිරි ජයසේකර, හරීන් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන්ගේ ධුරයන් ද වෙනස් වීමට නියමිත බවයි.
අමාත්‍ය තිලක් මාරපනගේ විදේශ කටයුතු අමාත්‍ය ධුරයත්, ගාමිණී ජයවික්‍රම පෙරේරා දරන වනජිවි අමාත්‍ය ධුරයත්, වෙනත් අමාත්‍යවරුන් වෙත පැවරෙනු ඇති බව වාර්තා වුණා.
එසේම, අජිත් පී පෙරේරා, හර්ෂ ද සිල්වා ඇතුළු නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකුට කැබිනට් නොවන අමාත්‍ය ධුර පිරිනැමෙනු ඇති බවයි වාර්තා වන්නේ.