Gossips

ආණ්ඩුවේ අලුත් පාවාදීමක් ගැන, හිටපු ජනපතිගෙන් හෙළිදරව්වක්

වත්මන් ආණ්ඩුව 2002, අංක 25 දරණ සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනත සංශෝධනය කිරීම සඳහා කෙටුම්පතක් පාර්ලිමේන්තුවට හඳුන්වා දී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ 2002 මුල් නීතියේ අරමුණ වූයේ වෙනත් රටවල සැකකරුවන් හෝ සාක්ෂිකරුවන් ලංකාවේ සිටින්නේ නම් හෝ මෙරටට අවශ්‍ය එවැනි පුද්ගලයින් වෙනත් රටක සිටින්නේ නම්, ඔවුන් හඳුනා ගැනීම, සිතාසි නිකුත් කිරීම ඇතුළු කරුණුවලදී විදෙස් රටවල් හා අන්‍යෝන්‍ය සහයෝගීතාවයෙන් කටයුතු කිරීමට බවයි.
කෙසේ වෙතත්, නව කෙටුම්පතේ වගන්ති ගණනාවක්ම සම්පූර්ණයෙන් වෙනස් කිරීම තුළින් මුල් පනතේ ස්වරූපය සැලකිය යුතු ආකාරයට වෙනස් වන බව ද හිටපු ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන්.
පවතින නීතිය රාජ්‍යයන්වලට පමණක් බලපැවැත්වුවද යෝජිත සංශෝධනයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය වැනි සංවිධානවලට ද ඇතුළත්වීමේ අවස්ථාව සලසා දී තිබෙනවා.
යෝජිත සංශෝධනය වත්මන් ආණ්ඩුව මීට පෙර හදුන්වා දුන් අතුරුදන්වූවන්ගේ කාර්යාල පනත හා අතුරුදන්කරවීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්තිය ශ්‍රී ලංකාවේ බලාත්මක කිරීම සඳහා ගෙන ආ පනත සමඟ බැදී පවතින බවයි හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.
නව පනත් කෙටුම්පතින් සිදුවන්නේ 2018 අංක 5 දරණ අතුරුදන්කරවීම්වලට එරෙහිව ජාත්‍යන්තර ප්‍රඥප්තිය ශ්‍රී ලංකාවේ බලාත්මක කිරීමට ගෙන ආ පනතේ විධි විධාන ක්‍රියාත්මක කිරීමට උදව් දීමක් බව ද එම නිවේදනයේ තවදුරටත් දැක්වෙනවා.
ලංකාවේ සිදුවූවායැයි කියන අපරාධයන් සම්බන්ධයෙන් වෙනත් රටක නඩුවක් පවත්වාගෙන යාමට නම් එයට අවශ්‍ය සාක්ෂි යනාදිය ශ්‍රී ලංකාවෙන් ලබා ගැනීමට කුමන හෝ යාන්ත්‍රණයක් තිබිය යුතුයි.
2002 සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනතට ගෙනවිත් තිබෙන මෙම සංශෝධනවල අරමුණ වන්නේ ද එම යාන්ත්‍රණය සැකසීම බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිකුත් කළ නිවේදනයේ තවදුරටත් දැක්වෙන්නේ.
මේ අතර, විපක්ෂයේ දේශපාලන නායකයින් සිරගත කොට ආණ්ඩුව ගෙන යන මර්දනකාරී ක්‍රියා පිළිවෙතට ජනතාව ඉදිරියේදී සිය යුතුකම් ඉටු කරනු ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ හොරොව්පතාන – මුකරවැව – ජුම්මා මුස්ලිම් දේවස්ථානයේ අද (17) උදෑසන පැවති උත්සවයකට එක්වෙමින්.