Gossips

ආණ්ඩුවෙන් ඉවත්වූ නිදහස් පක්ෂයේ දෙදෙනෙකු ජනපති මුණගැසීමට ලන්ඩන් නුවරට

ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු අමාත්‍යවරුන් වන ඩිලාන් පෙරේරා සහ චන්දිම වීරක්කොඩි දැනට ලන්ඩන් නුවර රැඳී සිටින ජනාධිපතිවරයා හමුවීම සඳහා පිටත්ව ගොස් ඇති බව දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කළා.
පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීමටයි ජනාධිපතිවරයා ලන්ඩන් නුවරට ගොස් සිටින්නේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දිවයිනට පැමිණීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් පැවැත්වීමට නියමිතයි.
එම රැස්වීමට පෙර ජනාධිපතිවරයා හමුවීමට හිටපු අමාත්‍යවරුන් දෙදෙනා පිටත්ව යෑම විශේෂත්වයක්.
මේ අතර අමාත්‍ය ධුරවලින් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායමේ විශේෂ සාකච්ඡාවක් අද රාත්‍රියේ නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාලගේ කොළඹ පිහිටි නිවසේදී පැවැත්වීමට නියමිතයි.
එහිදී ඔවුන්ගේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවයි වාර්තාවන්නේ.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි කටයුතු තීරණය වන්නේ තම වාර්තාව මත බව අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසනවා.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සදහන් කළේ ජනාධිපතිවරයා දිවයිනට පැමිණි පසු අදාළ වාර්තාව භාරදීමට නියමිත බවයි.