Gossips

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් 6කගේ නම් කථානායකවරයා වෙත

පුරප්පාඩුව පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා සාමාජිකයන් 06 දෙනාගේ නම් මේ වනවිට කථානායකවරයා වෙත ලැබී ඇති බව කථානායක කාර්යාලය ප්‍රකාශ කළා.
ඒ අනුව මෙම සතිය නිම වීමට පෙර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ජනාධිපතිවරයා විසින් පත් කරනු ඇති බවයි එහි උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
සාමාජිකයන් 10 දෙනෙකුගෙන් සමන්විත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට කතානායකවරයා, අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයා පත් වන්නේ නිල බලයෙන්.
ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය මහින්ද සමරසිංහ දැනටමත් නම් කර තිබෙනවා.
සිවිල් සංවිධාන නියෝජිතයන් තුන්දෙනෙකු සහ දේශපාලන පක්ෂවලින් තවත් නියෝජිතයන් තුන් දෙනෙකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පත්වන අතර ඉන් එක් අයෙකු සුළු පක්ෂ විසින් නම් කළ යුතු වනවා.
ඉතිරි සාමාජිකයින් අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයා එක්ව නම් කළ යුතු අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සක්‍රීය කිරීම ප්‍රමාද වූයේ මෙම සාමාජිකයන් 06 දෙනාගේ නම් කතානායකවරයා වෙත ලැබීම ප්‍රමාද වීම හේතුවෙන්.
කෙසේ වෙතත් ඊයේ (08) දිනයේදී එම සාමාජිකයින් 06 දෙනාගේ නම් කතානායකවරයා වෙත ලැබී ඇති අතර කඩිනමින් එම නාමයෝජනා කතානායකවරයා විසින් ජනාධිපතිවරයා වෙත යොමු කරනු ඇති බවයි කතානායක කාර්යාලයේ උසස් නිලධාරියා ප්‍රකාශ කළේ.
මේ අතර වත්මන් අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්ගේ නිල කාලය ලබන 12 වනදායි සහ ජාතික පොලිස් කොමිසමේ සාමාජිකයන්ගේ නිල කාලය ලබන 13 වනදායින් අවසන් වීමට නියමිතව තිබෙනවා.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පත් කිරීමෙන් පසු මෙම පත් කිරීම් ද සිදු කරනු ඇති බවයි කතානායක කාර්යාලය කියා සිටියේ.