ප්‍රවීණ සිනමාවේ දී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අභාවය පිළිබඳ දැඩි සංවේගය පළකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ප්‍රවීණ සිනමාවේදියාගේ අභාවය පිළිබඳ සුමිත්‍රා පීරිස්ට, පවුලේ සමීපතමයන්ට සහ සමස්ත ශ්‍රී ලංකාවාසීන් වෙත සංවේගය පළකරන අතර ඔහුට මොක්සුව පතන බවයි ජනාධිපතිවරයා ශෝක පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ.
එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ලෙස්ටර් ජේම්ස් පීරිස් යනු නිසැකවම සංස්කරණය නොකෙරුණු සංකීර්ණ තිර පිටපතක් බඳු චරිතාපදානයක් බවයි.
එමෙන්ම අන්තර්ජාතිකව සම්භාවනාවට පත් ආසියානු සිනමාවේ දැවැන්ත ත්‍රිමූර්තිය වන ජපානයේ අකිරා කුරොසාවා සහ ඉන්දියාවේ සත්‍යජිත් රායිට අනතුරුව ශ්‍රී ලංකාවේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරීන් ද දිවිසැරියෙන් නික්ම යන්නේ තවත් සිවස් ගණනාවකට විශ්ව සිනමාවේ ආසියානු කලාපීය විශිෂ්ඨත්වය පිළිබඳ අභිමානනීය මතකය සදානුස්මරණීය ස්මාරකයක් බවට පත්කරමින් බව ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.
ප්‍රවීණ සිනමාවේදියාගේ නික්ම යාමත් සමග ලාංකීය සිනමා, කලා සාහිත්‍යාංග ධාරාවේ යුග පුරුෂ පද්ධතියේ බිඳවැටීමක් සනිටුහන් වූ ආකාරයක් ද ගම්‍ය වන බව ජනාධිපතිවරයාගේ ශෝක පණිවුඩයේ දැක්වෙනවා.
මාර්ටින් වික්‍රමසිංහ, එදිරිවීර සරත්චන්ද්‍ර, පණ්ඩිත් අමරදේව, ජෝර්ජ් කිට් සහ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරීන් වැනි ප්‍රාමාණිකයන්ගේ අභාවයෙන් පසු ඇතිවන රික්තය තුල අනුප්‍රාප්තික පරපුරේ ආගමනය අපේක්ෂා කරන බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිකුත්කළ ශෝක පණිවුඩයේ වැඩිදුරටත් සඳහන්.