Gossips

ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් ජනතාව අවුරුද්දට සැරසේ

උදාවන සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද හෙළ සිරිතට මුල්තැන දෙමින් ශ්‍රී ලංකාවාසීන් සමරනු ලබනවා.
අලූත් අවුරුද්දේ පුණ්‍ය කාලය හෙවත්, නොනගතය අද පූර්වභාග 7.45 ට උදාවූ අතර එය අවසන් වන්නේ අපරභාග 8.33 ටයි. අලූත් අවුරුදු උදාව අපරභාග 2.09 ට සිදුවනවා.
පුණ්‍ය කාලය තුළ සියලූ වැඩ අතහැර ආගමික වතාවත්වල යෙදීම සුදුසු බව නැකත් චාරිත්‍රවල දැක්වෙනවා.
පුණ්‍ය කාලය තුළ ජනතාව හෙළ සිරිතට මුල්තැන දී මේ වනවිට සියලූ වැඩ අතහැර ආගමික වතාවත්වල නිරතවනවා.
ඒ අනුව ජනතාව අද පෙරවරුවේ දිවයිනේ බොහෝ ආගමික ස්ථානවලට ගොස් ආගමික වතාවත්වල නිරතවූ බවයි හිරු වාර්තාකරුවන් කියා සිටියේ.
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ අවුරුදු මංගල්‍යය පෙරහර අද පස්වරුවේ වීථි සංචාරය කෙරෙන අතර, සාම්ප්‍රදායික කිරි ඉතිරවීමේ මංගල්‍යය අද අලූයම සිදු කෙරුණා.
එසේම මේ වනවිට කතරගම දේවාල පරිශ්‍රයට විශාල පිරිසක් පැමිණ සිටින බවයි හිරු වාර්තාකරු කේ.ඩී. දේවප්‍රිය කියා සිටියේ.
අලූත් අවුරුද්දේ පුණ්‍ය කාලය වෙනුවෙන් මහනුවර ශ්‍රී දළදා මාළිගාව වෙතද අද පෙරවරුවේ විශාල පිරිසක් පැමිණි බව මහනුවර හිරු වාර්තාකරු ආර්.එම්.ආර්. රත්නායක සඳහන් කළා.
අනුරාධපුර පූජාභූමියේද විශේෂ ආශිර්වාද පූජා පැවැත්වුණු බවයි අනුරාධපුර හිරු වාර්තාකරු අතුල බණ්ඩාර කියා සිටියේ.
බදුල්ල හිරු වාර්තාකරු පාලිත ආරියවංශ කියා සිටියේ බදුල්ල දිස්ත්‍රික්කයේ වෙහෙර විහාරස්ථානවලටද විශාල පිරිසක් පැමිණ සිටින බවයි.
මේ අතර පුණ්‍ය කාලය තුළ උතුර පළාතේ සිංහල සහ දෙමළ ජනතාවද ආගමික වතාවත්වල නිරතවුණා.
එසේම වතුකරයේ ජනතාවද පුණ්‍ය කාලය තුළ අද පෙරවරුවේ ආගමික වතාවත්වල නිරතවූ බවයි හැටන් හිරු වාර්තාකරු රංජිත් රාජපක්ෂ සඳහන් කළේ.
මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවද පුණ්‍ය කාලය වෙනුවෙන් අද පෙරවරුවේ සිට වෙහෙර විහාරස්ථාන වෙත පැමිණ ආගමික වතාවත්වල නිරතවනවා.