Gossips

ආගමන – විගමන නීති උල්ලංඝනය කළ බවට මාකඳුරේ මධුෂ්ට සහ කොස්ගොඩ සුජීට චෝදනා

පාතාල නායකයන් වන මාකඳුරේ මධුෂ් සහ කොස්ගොඩ සුජී ඩුබායි රාජ්‍යයට ඇතුලූවී ඇත්තේ ආගමන විගමන නීතිරීති උල්ලංඝනය කරමින් බවට හෙළිවී තිබෙනවා.
ඒ, එරට තානාපති අංශ සිදුකළ විශේෂ විමර්ශනයකදියි.
ඒ අනුව මෙම පාතාල නායකයන් අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ඒම සඳහා ජාත්‍යන්තර මෙහෙයුමක් දියත් කර ඇති බවයි උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ.
පසුගිය කාලසීමාව තුළ මෙරට සිදුවූ මනුෂ්‍ය ඝාතන, කප්පම් ගැනීම්, කොල්ලකෑම් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම් රැසක් මෙම පාතාල නායකයන් දෙදෙනා විසින් මෙහෙයවා ඇති බවට පොලිස් බුද්ධි අංශ අනාවරණ කරගෙන තිබෙනවා.
එමෙන්ම දකුණේ පාතාල ක්‍රියාකාරකම් තවදුරටත් මෙහෙයවන්නේ මොවුන් දෙදෙනා බවටයි තොරතුරු වාර්තාවන්නේ.
කළක් ඉන්දියාවේ සැඟව සිටි මෙම පාතාල නායකයන් පසුව ඩුබායි රාජ්‍යයට පලාගොස් තිබුණා.
මෙම සැකකරුවන් එහි සුඛෝපභෝගී ජීවිත ගත කරන අතර, මොවුන්ගේ සඟයන් පස්දෙනෙකුද ඩුබායි රාජ්‍යයේ සිටින බව හෙළිවී තිබෙනවා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති අංශ සමඟ ඒකාබද්ධව මෙරට පොලිස් ඒකක තුනක් ඩුබායි හි සිටින මෙම පාතාල නායකයන් කොටුකරගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කර තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකාය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ පොලිස් විශේෂ විමර්ශන කොට්ඨාශය ඊට ඇතුළත්.
මේ අතර බන්ධනාගාරයේ සිට බාහිර පුද්ගලයන්ට මත්ද්‍රව්‍ය වැරදිකරුවන් විසින් ලබාගත් දුරකථන ඇමතුම් 3,000 ක් සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් වරදකරුවන් වී දැනට වැලිකඩ, ගාල්ල සහ මැගසින් බන්ධනාගාරවල සිටින රැඳවියන් මෙම සබඳතා පවත්වා ඇති බවටයි හෙළිවී ඇත්තේ.
එමෙන්ම බන්ධනාගාර ගතව සිටින මත්ද්‍රව්‍ය චෝදනා ලැබූවන් රහසිගතව ළඟ තබාගෙන සිටින ජංගම දුරකථන හඳුනාගැනීම සඳහා විශේෂ උපකරණයක් සවි කිරීම කෙරෙහි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවී තිබෙනවා.
බන්ධනාගාරයේ සිට මෙහෙයවන විවිධ අපරාධ ක්‍රියා පිළිබඳ සිදුකළ පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ මෙලෙස ජංගම දුරකථන මාර්ගයෙන් සිර මැදිරිවල සිට එම අපරාධ මෙහෙයවන බවයි.
ඒ අනුව සිර මැදිරි තුළ නව උපකරණය භාවිත කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියා.