Gossips

අසිරිමත් නත්තල තවත් හෝරා කිහිපයකින්

ජේසු බිළිඳාගේ උපත සැමරෙන අසිරිමත් නත්තල උදාවීමට ඇත්තේ තවත් හෝරා කිහිපයක් පමණයි.
ජේසුස් ක්‍රිස්තූන්වහන්සේගේ උපත සමරනු ලබන අසිරිමත් නත්තල අද මධ්‍යම රාත්‍රියෙන් උදා වනවා.
එය සැමරීම සඳහා ලොව පුරා කිතුනු බැතිමතුන් සූදානම් වන්නේ ඉමහත් උද්යෝගයෙන්.
ඇතැම් රටවල මේ වන විටත් අසිරිමත් නත්තල උදා වී අවසන්.
නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයට පළමුව අසිරිමත් නත්තල උදා වූයේ මෙරට වේලාවෙන් පස්වරු 4.30ට පමණයි.
අති උතුම් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන නත්තල් දේව මෙහෙය වතිකානුවේ ශාන්ත පීතර් බැසිලිකාවේදි පැවැත්වෙනවා.
මෙරට ප්‍රධාන නත්තල් දේව මෙහෙය අද රාත්‍රී 11.45ට කොළඹ අගරදගුරු අතිඋතුම් මැකලම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පයාගල – ශාන්ත ජෝශෆ් දෙව් මැදුරේදී ආරම්භවීමට නියමිතයි.
මේ අතර, ‘අසිරිමත් නත්තල’ මිනිස්කමින් අරුත් ගන්වමින් හිරු එෆ්.එම්. ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය සංවිධාන කරන මෙදා සැරේ අපටත් නත්තල් වැඩසටහන අද ක්‍රියාත්මක වුණා.
ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් පරිදි හිරු එෆ්.එම්. ඇතුළු අප සහෝදර නාලිකා වන, ෂා එෆ්.එම්, ගෝල්ඩ් එෆ්.එම්., සන් එෆ්.එම් සහ සූරියන් එෆ්.එම්. වසර ගණනක සිට මෙය සංවිධාන කරන්නේ අඩු පහසුකම් සහිතව ළමා නිවාසවල වෙසෙන දරුවන්ට ඔවුන් කැමැතිම තෑග්ග ලබාදීම සඳහායි.
දරුවන්ගේම ඉල්ලීමට අනුව ඔවුන්ට අවශ්‍ය සියලු දෑ හිරු එෆ්.එම්. වෙතින් මෙවර නත්තලේ ලබාදීම විශේෂත්වයක්.
මෙවර හිරු මෙදා සැරේ අපටත් නත්තල් වැඩසටහන ක්‍රියාත්මක වූයේ වයඹ පළාත කේන්ද්‍ර කරගනිමින්.