Gossips

අස්වාභාවික ලෙස මිනිසුන් මියයන අනුරාධපුරයේ ගමක් (ඡායාරූප)

අනුරාධපුර – ගලෙන්බිදුනුවැව – හල්මිල්ලවැව නම් වූ ගම්මානයේ වසරක කාලයක සිට අස්වාභාවික ලෙස මිනිසුන් මියයන බව ප්‍රදේශවාසීන් පවසනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ දින 21 කට වතාවක් මෙලෙස පුද්ගලයෙකු මියයන බවයි.
වසර දෙකක කාලයක් තිස්සේ සිට අදාළ ගම්මානයේ පාරම්පරිකව පැවැත්වෙන දේව පූජාවක් නොපැවැත්වීම මීට හේතුවන්නට ඇති බවටයි ප්‍රදේශවාසීන් විශ්වාසය පළ කරන්නේ.
ඔවුන් පෙන්වා දෙන්නේ තම මරණාධාර සමිතියේ පවා මුදල් නොමැතිව කිසිවෙකුගෙන් හෝ ඉල්ලා ගන්නා මුදලින් මියයන පුද්ගලයන්ගේ අවසන් කටයුතු සිදුකරන බවයි.
එමෙන්ම තමන් දැඩි බියකින් පසුවන බව ද ප්‍රදේශවාසීන් කියාසිටියා.
වසර ගණනාවකින් මෙම ගම්මානයට ජලය නොමැති වීම හේතුවෙන් ඔවුන් බරපතළ අර්බුදයකට මුහුණ පා සිටිනවා.
කෙසේවෙතත් මෙම ගම්මානයේ ඇතැමුන් කියාසිටියේ තම ගම්මානයේ පාරම්පරිකව පවත්වාගෙන එන ගම්භාර දෙවියන්ට පුද සත්කාර නොකිරීම හේතුවෙන් දේව ශාපයක් ගමට උදාවී ඇති බවයි.
පවතින දැඩි නියං තත්ත්වය හේතුවෙන් තම ගම්මානයේ පිරිස මේ ආකාරයෙන් මිය යන්නට ඇති බව තවත් පිරිසක් ප්‍රකාශ කළා.
විහාරාධිපති හිමියන් සඳහන් කලේ අස්වාභාවික මිය යෑම් හමුවේ ගම්මානයේ ජනතාව මෙන්ම තමන් වහන්සේ ද දැඩි සංවේගයට පත්ව සිටින බවයි.
පිරිත් සජ්ජායනා සිදුකිරීමට සහ දේව කන්නලව්වක් ගම තුළ ක්‍රියාත්මක කිරීමට සූදානමක් පවතින බව ද උන්වහන්සේ කියසිටියා.
ගම්මානයේ ජනතාවට මේ වන විට කිසිදු ආදායමක් නොමැති වීම නිසා බරපතල ප්‍රශ්නයකට මුහුණ පා සිටින බව ද විහාරාධිපති හිමියන් සඳහන් කළා.
අප වාර්තාකරු පෙන්වා දෙන්නේ හල්මිල්ල වැව ගම්මානයේ සියලුම ඇළ, දොළ සිදී යාම හේතුවෙන් ජනතාව ගොස් උග්‍ර ජල හිඟයකට මුහුණ පා සිටින බවයි.
මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ විද්‍යා විශේෂඥ වෛද්‍ය රූමි රූබන්ගෙන් විමසීමක් කළා.
ඔහු කියාසිටියේ කිසියම් රටාවක් සිතෙහි තබා ගනිමින් එහි පිටුපස අද්භූත යමක් ඇතැයි සිතුව හොත් එය ඒ ආකාරයෙන් ගලපා ගැනීමට හැකි බවයි.
කෙසේවෙතත් මෙම ගම්මානයේ අද්භූත යමක් නොමැති බවයි වෛද්‍ය රූමි රූබන් සඳහන් කළේ.

ඡායාරූප – දඹුල්ල කාංචන කුමාර