Gossips

අවුරුදු සමයේ හදිසි අනතුරුවල ඉහළ යාමක්

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සදහා දිවයින පුරා අද දිනයේත් මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළා.
විශේෂයෙන් අධිවේගී මාර්ගවල ද බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් නිලධාරින් යොදවා තිබෙනවා.
පසුගිය වසරේදී බීමත් රියදුරන් 75,000 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගත් බවයි රථ වාහන හා පාලන මාර්ග ආරක්ෂාව පිළිබද කොට්ඨාශය භාර අධ්‍යක්ෂ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.
පසුගිය 11 වනදා සිට අද දිනය දක්වා බීමත්ව රිය පැදවූ 32,000 කට නඩු පවරා ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
මේ අතර, අද දහවල් 12 න් අවසන් වූ ගෙවුණු පැය 24 තුළ හදිසි අනතුරු හේතුවෙන් පුද්ගලයින් 197 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 6 ක වර්ධනයක් බවයි එම රෝහලේ පුහුණුකිරීමේ හෙද නිලධාරිනි පුෂ්පා රම්‍යානි ද සොයිසා කියා සිටියේ.
මේ අතර, ගතවූ පැය 24 තුල විවිධ ප්‍රදේශවල සිදු වූ අනතුරුවලින් පුද්ගලයන් 07 දෙනෙකු මියගොස් තවත් 08 දෙනෙකු තුවාල ලැබුවා.
තමීගමුව – මීරිගම මාර්ගයේ මඩම්පැල්ල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් මාස 8 ක බිළිදෙකු මියගොස් තවත් 7 දෙනෙකු තුවාල ලබා මීගමුව රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මීරිගම සිට මීගමුව දෙසට ධාවනය වූ මෝටර් රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පාලමක ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.
එමෙන්ම, ඇහැළියගොඩ, වැලිමඩ, මිහින්තලය, හුංගම සහ අනුරාධපුර – සාලියවැව ප්‍රදේශවලින් ද රිය අනතුරු වාර්තා වනවා.