Gossips

අවුරුදු කැටපොලේ ගැටුම පුද්ගලයෙකුට මරු කැඳවයි – පැය 24 ක් තුළ ඝාතන 06 ක්

සිංහල – දෙමළ අලූත් අවුරුද්දේ උණුසුම ගෙවී යන්නටත් මත්තෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් මනුෂ්‍ය ඝාතන රැසක් වාර්තා වුණා.
ඉපලෝගම – සේනපුර ප්‍රදේශයේ නිවසක මුදල් ඔට්ටුවට කැට ගසමින් සිටි දෙපිරිසක් අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් ඇති වූ ගැටුමකදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ පස්වරුවේ ඔහුගේ හිසට පොල්ලකින් පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.
මියගොස් ඇත්තේ වැල්ලව – නිකදළුපොත ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙක්.
මෙම පහරකෑමෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයන් දෙදෙනෙකු අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබන අතර, ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් 03 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර, ගලේවෙල – දේවහූව – එකේ ඇල ප්‍රදේශයේ නිවසක් තුළ තිබී තියුණු ආයුධවලින් පහර දී අඹුසැමි යුවලක් ඝාතනය කිරීමේ සිද්ධිය ඉඩම් ආරවුලක් මුල්කරගනිමින් සිදුවූවක් බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
ඊයේ රාත්‍රියේ ඔවුන් දෙදෙනා නිවසේ සිට ඇති අතර, සිද්ධිය වන අවස්ථාවේ දරුවන් දෙදෙනා නිවසේ සිට ගලේවෙල නගරයට ගොස් තිබුණා.
මෙලෙස ඝාතනයට ලක්වුණේ කෘෂිකර්ම නිෂ්පාදන පර්යේෂණ සහකාර නිලධාරියෙකු ලෙස කටයුතු කරන 53 හැවිරිදි පුද්ගලයෙකු සහ මධ්‍යම පළාතේ දිරිය කාන්තාවට හිමි සම්මානය හිමිකරගත් 51 හැවිරිදි කාන්තාවක්.
මේ අතර, හිඟුරක්ගොඩ – ජයන්තිපුර – නාගපොකුණ ප්‍රදේශයේදී පුද්ගලයෙකු තම අනියම් බිරිඳට පහරදී ඝාතනය කර තිබෙනවා.
ඔහු ඊයේ රාත්‍රියේ මත්පැන් පානය කර සිට ඇති අතර, එහිදී ඇතිවූ බහින්බස්වීමක් දුරදිගයෑම හේතුවෙන් මෙලෙස 26 හැවිරිදි කාන්තාවට පහර දී ඇති අතර, ඇය අද උදෑසන නිවසේ මිදුලේ වැටී සිටියදී ප්‍රදේශවාසීන් විසින් සොයාගෙන තිබුණා.
ඒ වනවිටත් ඇය මියගොස් සිටියා.
මේ අතර, රක්වාන – පින්නකන්ද – ගොඩකවෙල ප්‍රදේශයේදී බහින්බස්වීමක් දුරදිගයෑම හේතුවෙන් සිදුවූ පහරදීමකින් 53 හැවිරිදි තිදරු පියෙකු ජීවිතක්ෂයට පත්වුණා.
කොලොන්න – කස්තානගහවත්ත – උල්ලිදුවාව ප්‍රදේශයේදී සංගීත ප්‍රසංගයක් නැරඹීමට යාමට සූදානමින් සිටි තරුණයින් දෙදෙනෙකුට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් කිසියම් පහරදීමක් සිදුකර තිබුණේ ඊයේ රාත්‍රියේයී.
පහරකෑමෙන් බරපතල තුවාල ලැබූ එක් පුද්ගලයෙකු කොලොන්න රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වුණා. සිද්ධියෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 17 ක් වන එම ප්‍රදේශයේම පදිංචි තරුණයෙක්.