Gossips

අවසරයකින් තොරව ඉදි කෙරෙන විදුලි බලාගාරයක් නිසා ගම්වැසියන් පිරිසක් අසීරුතාවක

නුවරඑළිය දිස්ත්‍රික්කයේ එලමුල්ල ග්‍රාම සේවා වසමේල තාවකාලිකව වැඩ තහනම් කළ කුඩා ජල විදුලි යෝජනා ක්‍රමයක ඉදි කිරීම් අවසරයකින් තොරව ආරම්භ කිරීම හේතුවෙන් ගම්වැසියන් යළි පීඩාවට පත්ව සිටිනවා.
ඔවුන් පවසන්නේ අදාළ ඉදි කිරීම හේතුවෙන් තම දෛනික ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වන බවයි.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මන්දාරම්නුවර එලමුල්ල ග්‍රාමයේ ගම්වැසියන් බොහෝ දෙනා ජීවත් වන්නේ ගොවිතැන ප්‍රධාන ජීවනෝපාය මාර්ගය කරගනිමින්.
ඒ සඳහා ඔවුන්ට මැදපිටිය දිය ඇල්ලෙන් ඉටු වන්නේ කිව නොහැකි මෙහෙයක්.
නමුත් ගම්වැසියන්ගේ ජීවිතවලට කණකොකා හඩන්නට පටන් ගත්තේ මැදිපිටිය දිය ඇල්ල හරස් කරමින් මීට වසර 2කට පමණ පෙර කුඩා පරිමාණ ජල විදුලි යෝජනා ක්‍රමයක් ඉදි කිරීම ආරම්භ කිරීම හේතුවෙන්.
අදාළ විදුලි යෝජනා ක්‍රමය හේතුවෙන් ගොවිතැන සේම ගම්මානයේ සුන්දරත්වයද විනාශවීම දරාගත නොහැකිවීම හේතුවෙන් ප්‍රදේශයේ ගොවිජන සංවිධාන ඒ පිළිබඳ අවස්ථා කිහිපයකදී සිය විරෝධය පළ කළා.
ඒ අනුව 2016 ජනවාරි 10 වැනිදා සිට අදාළ විදුලි යෝජනා ක්‍රමයේ ඉදි කිරීම් තාවකාලිකව නතර කිරීමට බලධාරීන් එකඟ වුණා.
එහිදි තීරණය කෙරුණේ ඉදි කිරීම් යළි ආරම්භ කරන්නේ ගොවි ජනතාවගේ එකඟතාවයකින් පසුව බවයි.
නමුත් ගොවීන් යළි කලබලයට පත්වුණේ මීට සති 2කට පමණ පෙර කිසිදු අවසරයකින් තොරව සහ එකඟතාවකින් තොරව අදාළ යෝජනා ක්‍රමයේ කටයුතු යළි ආරම්භ කිරීමට බලධාරීන් කටයුතු කර තිබීම හේතුවෙන්.