Gossips

අවසන් මොහොතේ ටනර්ගේ පිත්ත ඉන්දීය පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත වෙයි – නොතිබූ ජයග්‍රහණයක් ඉන්දියාවෙන් උදුරා ගනී

ඉන්දියාව සමඟ පැවැත්වෙන තරඟ 05කින් සමන්විත එක්දින තරඟාවලිය තරඟ දෙකට දෙකක් ලෙස සමකරන්නට ඕස්ට්‍රේලියාව ඊයේ සමත් වුණා.
ඒ දෙරට අතර පැවති සිව්වන එක්දින තරඟය ඕස්ට්‍රේලියාව විශිෂ්ඨ ලෙස ජයගනිමින්.
ඕස්ට්‍රේලියාව මෙම තරඟය ජයගත්තේ කඩුලු 04කින්.
කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුල කඩුලු 09කට ලකුණු 358ක් සිය ලකුණු පුවරුවට එක් කළා.
ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබාගත් ආරම්භක පිතිකරුවන් යුගලය පළමු කඩුල්ලට ලකුණු 193ක සබධතාවක් ගොඩ නැගුවා.
එහිදී ශිකර් ධාවාන් පන්දු 115කදී ලකුණු 143ක් රැස්කළ අතර රෝහිත් ශර්මා සිය 23 වන එක්දින ශතකයට ලකුණු 05ක් තිබියදී දැවී ගියා.
ඔවුන් දෙදෙනාගේ දැවීයාමෙන් පසු එම රිද්මය දිගටම පවත්වා ගැනීමට ඉන්දීය පිතිකරුවන්ට හැකියාවක් ලැබුනේ නැහැ.
ඉන්දීය ඉනිමේ අවසන් පන්දුවට ජස්ප්‍රිට් බුම්රා එල්ල කළ දැවැන්ත හයේ පහරත් සමඟ ඉන්දීය ලකුණු පුවරුව දැක්වුණේ කඩුලු 09කට ලකුණු 358ක් ලෙසයි.
ලකුණු 359ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ මුල්පෙළ කඩුලු 02ක් ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගන්නට ඉන්දීය වේග පන්දු යවන්නන් සමත් වුණා.
ආරම්භක පිතිකරු ආරොන් ෆින්ච් සහ පළමු කඩුල්ල ලෙස පිටියට පිවිසි ෂෝන් මාෂ්ගේ දැවී යාමෙන් පසු එක්වූ උස්මාන් කවාජා සහ පීටර් හෑන්ස්කොම්බ් ඉතා ඉවසීමෙන් ඕස්ට්‍රේලියානු ඉනිම ගොඩ නැගුවේ ඉන්දියාව දෙසට තිබූ ජයග්‍රහණයේ වාසිය තමන් දෙසට හරවා ගනිමින්.
එහිදී උස්මාන් කවාජා ලකුණු 91ක් රැස් කළ අතර පීටර් හෑන්ස්කොම්බ් සිය මංගල එක්දින ශතය වාර්තා කරමින් රැස්කළ ලකුණු සංඛ්‍යාව 117ක්.
ඔවුන් දෙදෙනාගේ දැවී යාමෙන් පසු පිටියට එක්වූ ග්ලේන් මැක්ස්වෙල් සහ ඇෂ්ටන් ටනර් ඕස්ට්‍රේලියානු පිළ ජයග්‍රහණ මාවතේ ඉදිරියට රැගෙන ගියේ ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණ බලාපොරොත්තුව බොඳ කරමින්.
ප්‍රවේගකාරී පිතිහරභයක නිරත වූ ග්ලේන් මැක්ස්වෙල් පන්දු 13කදී ලකුණු 23ක් රැස කළ අතර ඔහුට නොදෙවෙනි ඉනිමක් දියත් කළ ටනර් දැවැන්ත හයේ පහර 06ක් සහ හතරේ පහර 05ක් සමඟින් නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 84ක්.
මැක්ස්වෙල්ගේ දැවී යාමෙන් පසු ටනර් සමඟ එක්වූ ඇලෙක්ස් කෙරී නොදැවී ලකුණු 21ක් රැස්කරමින් ටනර් සමඟ එක්ව පන්දුවාර 47යි පන්දු 05ක් තුල ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා.
ඉන්දීය පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කළ ඇෂ්ටන් ටනර් තරඟාවලියේ වීරයා බවට පත් වුණා.