Gossips

අවසන් ටෙස්ට් ගැටුමේ ජය ශ්‍රී ලංකාවට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති තුන්වන සහ අවසන් ටෙස්ට් තරඟය ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා.
ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 04කින් පරාජය කරමින්.
බටහිර ඉන්දීය කොදෙව්, බාබඩෝස් හිදී පැවති මෙම තරඟය පැවැත්වුනේ දිවා රාත්‍රී ටෙස්ට් තරඟයක් ලෙසයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 144ක ඉලක්කයක් හිමිවූ අතර එම ඉලක්කය කඩුලු 06ක් පමණක් දැවී තිබියදී පසුකර යන්නට ශ්‍රී ලංකා පිතිකරුවන්ට හැකියාව ලැබුණා.
එහිදී ශ්‍රී ලංකා දෙවන ඉනිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 25ක් රැස් කළ අතර ධනුෂ්ක ගුණතිලක ලකුණු 21ක් රැස් කළා.
ඊයේ දිනයේදී අබාධයකට ලක්ව රෝහල් ගත කෙරුණු කුසල් ජනිත් හත්වන කඩුල්ල ලෙස පිටියට පැමිණ දිල්රුවන් පෙරේරා සමඟින් එක්වී ශ්‍රී ලංකා පිළ ජයග්‍රහණය කරා රැගෙන ගියේ නොදැවී පිළිවෙලින් ලකුණු 28ක් රැස් කරමින්.
ඔහුට අනගි සහයක් ලබාදුන් දිල්රුවන් පෙරේරා නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 23ක්.
තරඟයේ කාසිය වාසිය දිනා පළමු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් පිළ සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 204ක් රැස් කිරීමට සමත් වුණා.
ඊට පිළිතුරු වශයෙන් සියල්ලන් දැවී ශ්‍රී ලංකා පළමු ඉනිමට රැස්කළ ලකුණු සංඛ්‍යාව ලකුණු 154ක්.
කොදෙව් දෙවන ඉනිම ලකුණු 93කට සිමා කරන්නට ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් සමත්වූ අතර ඒ අනුව ශ්‍රී ලංකා ජයග්‍රහණයට ලැබුණු ඉලක්කය ලකුණු 144ක්.
එම ඉලක්කය කඩුලු 06ක් පමණක් දැවී තිබියදී පසුකර යන්නට ශ්‍රී ලංකා පිළ සමත් වූ අතර ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමක් දිවා රාත්‍රී ටෙස්ට් තරඟයක් ජයගත් පළමු අවස්ථාව ලෙසට මෙම ජයග්‍රහණය ඉතිහාස ගතවනවා.
අවසන් තරඟයේ වීරයා ලෙස කොදෙව් කණ්ඩායමේ ජේසන් හෝල්ඩර් සම්මාන හිමිකරගත් අතර තරඟ තුනකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ වීරයා බවට පත්වුයේ කොදෙව් ක්‍රීඩක ෂේන් ඩොරිච්.
තරඟාවලියේ පළමු තරඟය කොදෙව් කණ්ඩායම ජයගත් අතර දෙවන තරඟය අවසන් වුනේ ජය පරාජයෙන් තොරවයි.
තුන්වන ටෙස්ට් තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කිරීමත් සමඟ තරඟ තුනකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය තරඟ එකට එකක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් වුණා.