Gossips

අලූත් අවුරුද්දට විශේෂ ප්‍රවාහන සේවා

එළඹෙන උත්සව සමය නිමිත්තෙන් විශේෂ ප්‍රවාහන සේවාවන් ක්‍රියාත්මක කිරීමට පියවර ගැනෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකා දුම්රිය සේවය, ලංකා ගමනා ගමන මණ්ඩලය මෙන්ම පෞද්ගලික බස් රථද, විශේෂ ප්‍රවාහන සේවාවන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ඇති.
ශ්‍රී ලංකා දුම්රිය සේවය නිවේදනය කළේ අප්‍රේල් මස 10 වනදා සිට 17 වනදා දක්වා විශේෂ දුම්රිය සේවාවන් කිහිපයක් ක්‍රියාත්මක කරන බවයි.
ඒ අනුව, සාමාන්‍ය සේවාවන් වලට අමතරව, බදුල්ල, මහනුවර, යාපනය සහ අලූතෙන් ඉදිකළ බෙලිඅත්ත දක්වා ද විශේෂ දුම්රිය සේවාවන් ක්‍රියාත්මක කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරි දිලන්ත ප්‍රනාන්දු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.
ලංකා ගමනාගමන මණ්ඩලය ක්‍රියාත්මක කරන විශේෂ බස් රථ සේවාවන් හෙට සිට ආරම්භ වන බවයි එහි සභාපති උපාලි මාරසිංහ කියා සිටියේ.
ඒ අනුව, සාමාන්‍ය බස් රථ සේවාවන්වලට අතිරේකව ගමන්වාර 1350 ක් ක්‍රියාත්මක කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලය පියවර ගෙන ඇති බව ඔහු ප්‍රකාශ කළා.
කෙසේ වෙතත්, ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය කියා සිටියේ අලූතින් ගමන්වාර ක්‍රියාත්මක කිරීම තුළින් බස් රථවලට පාඩු සිදුවන බවයි.
පසුගිය වසර තුලදී ද එය සිදුවූ අතර, මේ වසරේදී අවශ්‍ය වුවහොත් පමණක් අලූතින් බස් රථ යෙදවීමට පියවර ගන්නා බවයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ.